ශ්‍රී ලංකාවේ රෝහල්වල ප්‍රශ්න විසඳන්නේ ඉන්දියාවේ ඇමතිලා – හරිණි අමරසූරිය

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට තරම් ඉන්දියාව සිය අණසක පතුරුවමින් සිටින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය චෝදනා කරයි.

“ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක් අපි ඉන්න තත්ත්වය ගැන. ඉන්දියාවේ විදේශ ඇමති මැදිහත් වෙලා තමයි ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන්නේ. ඒකෙන් ම තේරෙනවා අපි කොච්චරක් වැටිලා ද? කියලා. කොච්චරක් දුරට ඉන්දියාවට දැන් යටත් වෙලා ද? කියන එක. ඒක තමා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ඉස්සරහට තව කොහොම මැදිහත් වෙයි ද? කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක අද තියෙන ඇත්ත තත්ත්වය ගැන හොඳ උදාහරණයක්.”

පේරාදෙණිය රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම අත්හිටුවා ඇති බවට පළ වී තිබූ ට්විටර් පණිවුඩයක් කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයාට ට්විටර් ඔස්සේ දැනුම් දී තිබිණි.

පසුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් තමන් විමසා බැලූ බව ය.

පුවත යවන්න