ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ සහය ඉල්ලයි

සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉහළ රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා සිංගප්පූරු රජයේ සහය ලබා දෙන ලෙස  විදේශ ආමාත්‍ය ජී.එල් පීරිස් සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

තව ද අරමුදල් සැපයීම, සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සහ සිංගප්පූරුව වෙත කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පවත්නා අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිංගප්පූරු රජයේ සහය ඉල්ලා සිට ඇත.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සිංගප්පූරු රජයෙන් මෙම ඉල්ලීම් සිදු කර ඇත්තේ, එරට දෙදින නිල සංචාරයක නිරත වෙමිනි.

මේ වන විට සෞඛ්‍ය සේවකයින් සහ විශේෂයෙන් හෙද සේවකයන් සිංගප්පූරුවේ සේවය සඳහා යෙදවීම සම්බන්ධයෙන් දෙරටම සමීපව කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයාගේ සංචාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර මානුෂීය ආධාර සඳහා සිංගප්පූරු රතු කුරුස සංවිධානය විසින් මෑතකදී කරන ලද ආයාචනයට අදාළව සිංගප්පූරු රජය ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ලබා දීමට ප්‍රතිඥා දීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කර තිබේ.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා 8 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූ අතර සිව් වසරකට පසුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයකු මෙලෙස සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීම විශේෂත්වයකි.

පුවත යවන්න