ශ්‍රී ලංකාව ලංකාවේ නාමය ගාවමින් ව්‍යාජ පුවත් මෙහෙයුමක්

සමාජ මාධ්‍ය හරහා විවිධ මට්ටමේ අසත්‍ය තොරතුරු වාර්තා කිරීම මේ වන විට අවදානම් මට්ටමෙන් ඉහළ යමින් පවතී. මෙය අනාගතයේ ත්‍රස්තවාදයට සමාන තර්ජනයක් බවයි ජාත්‍යන්තර විශේෂඥයන් පෙන්වා දෙන්නේ.මේ අතර ජාත්‍යන්තර ඩිස් ඉන්ෆෝ වාර්තාව මගින් දකුණු ආසියානු උප මහද්වීපය තුල බරපතල මට්ටමේ ව්‍යාජ පුවත් ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බව මේ වන විට අනාවරණ කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වයන් මුල් කර ගනිමින්ද ව්‍යාජ පුවත් පැතිරවීමේ ජාත්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි ඩිස්ඉන්ෆෝ වාර්තාව පෙන්වා දෙන්නේ.2019 පාස්කු ප්‍රහාරය මූලික කර ගනිමින් පකිස්ථානය හරහා මෙම ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර ඇති බවත් එහිදී ශ්‍රි ලංකාවේ ප්‍රකාශ බව උපුටා දක්වමින් ඉන්දියාවට එරෙහි ව්‍යාජ පුවත් නිර්මානය කර ඇති බවත් මෙම වාර්තාව පෙන්වා දෙනවා.
ඒ අනුව පකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ව්‍යාජ ගිණුම් සිය ගණනක් මගින් ලංකාවේ පුද්ගල නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම පුවත් පතුරුවා හැරීම සිදුකරන බවද අදාළ වාර්තා අනාවරණ කළා.
මේ අතර පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට වන ව්‍යාජ මතවාදය පකිස්ථානය පතුරුවා හරින බවයි ඉන්දියාව මෙම වාර්තාව උපුටා දක්වමින් චෝදනා කළේ. පාස්කු ප්‍රහාරය පිළිබද බුද්ධි තොරතුරු ඉන්දියාව විසින් කල් තබා ලංකාවට ලබාදී තිබූ බවත් , එය නොතකා හරිමින් ප්‍රහාරය එල්ලවූ පසු එය රෝ සංවිධානය වෙත පැවරීමට පකිස්ථානයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවත් අදාළ වාර්තාව පැවසුවා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු කඩිනමින් ආරම්භ වූ පසු අයිසිස් සහ ජාතික තව්හීත් ජමාත් සංවිධානවලට චෝදනා එල්ලවීම ආරම්භ වූ පසු පකිස්ථානය හරහා මෙම ව්‍යාජ පුව්ත මෙහෙුයම සිදුවන බවටයි ඩිස්ඉන්ෆෝ වාර්තාව පවසන්නේ.
මෙහිදී විශේෂතම තත්ත්වය ලෙස නම් කර ඇත්තේ ලාංකික පුද්ගල නාමයන් හුවා දක්වමින් මෙම පුවත් නිර්මාණය කර තිබීමයි.
මේ අතරින් එක් ව්‍යාජ ගිණුමක් ශ්‍රී ලංකා හමුදා කාලතුවක්කු බලඝනයේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් එන්එල්කේ සමරසිංහ නාමයෙන් ක්‍රියාත්මක බවද අනාවරණ කර තිබෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ගිණුම ව්‍යාජ එකක් බවත් පකිස්ථානයේ සිට මෙහෙයවන බවත් හෙළිව ඇති බවයි ඩිස් ඉන්ෆෝ වාර්තාව පවසන්නේ.

1101055967872069633 යන සංකේතාත්මක නාමයෙන් මෙම ගිණුම ක්‍රියාත්මක වන බවත් එම ගිණුමේ අනුගාමිකයන් බහුතරය පකිස්ථානුවත් බවත් අදාළ වාර්තා හෙළිකරගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

Hubaib ලෙස ක්‍රියාත්මක වූ ට්විටර් ගිණුමක් පසුව හමුදා නිලධාරියා නමින් නම් කර ඇති අතර ඒ හරහා පාස්කු ප්‍රහාරය රෝ ඔත්තුසේවයේ මෙහෙයුමක් බවත් ලංකාව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙය ව්‍යාජ ගිණුමක් බව නොදත් බොහෝ දෙනකු ඊට ප්‍රතිචාර දක්වා ඇතැයිද ඩිස් ඉන්ෆෝ ලැබ් ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකික අනන්‍යතා සොරකම් කිරීමේ තවත් ප්‍රධාන සිදුවීමක් ලෙස නම් කර ඇත්තේ Harith Bilani හරිත් බිලානි නම් ගිණුමයි. එය 2019 ඔක්තෝම්බර් මාසයේදී මතු වූ අතර එය ප්‍රධාන වශයෙන් ඉන්දියානු විරෝධී තනතුරු වලින් සමන්විත වූ බවද හෙළිකර තිබෙනවා.
මේ අතර සිරිස්නා ජයසේන SirisnaJayasena නමින් ශ්‍රී ලංකා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජායාරූපයක් හා තොරතුරු ඇතුලත් ගිණුමක් ද මෙම ව්‍යාජ මතවාද සඳහා භාවිත කර තිබුණා. එම ගිණුම සම්බන්ධ පරීක්ෂණ ආරම්භ වූ විට

SanithPradeep සනිත්ප්‍රදීප් ලෙස නාමය වෙනස් කර ඔහු විදෙස් ඔත්තුකරුවකු බවත් ඉන්දියානුවකු බවත් ප්‍රකාශ කළ බවට ද ඉන්දීය මාධ්‍ය චෝදනා කළා.
එහිදී ප්‍රචාරය කළ ජායාරූපය ශ්‍රී ලංකා පොලිසිය විසින් 2018 ඔක්තෝබර් 29 වන දින කොළඹදී ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක භටයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.

මෙම ගිණුමද අනාවරනවීමෙන් පසු නැවතත් 2020 නොවැම්බරයේ දී තම අනන්‍යතාවය හරිත් බිලානි ලෙස වෙනස් කළ බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවේදී මාතෘකාවක් වන එල්ටීටීඊ වැනි මාතෘකා පිළිබඳව දිගින් දිගටම ට්විටර් පණිවිඩ පළකර තිබෙනවා.
ඒ අනුව පකිස්ථානය විසින් ව්‍යාජ පුවත් සඳහා ශ්‍රී ලංකාව ඉත්තකු ලෙස භාවිත කරන බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ අතර කාන්තාවන්ගේ අනන්‍යතාවය ද භාවිත කරමින් මෙවන් ව්‍යාජ ගිණුම් ක්‍රියාත්මක බවයි හෙලිව ඇත්තේ. අමන්දා චතු ලෙස නම් කළ එවන් ගිණුමක් ද පකිස්ථානය හරහා මෙහෙයවන බවයි ඩිස්ඉන්ෆෝ ලැබ් ප්‍රකාශ කළේ.

මෙවන් ව්‍යාජ මතවාදයන් තුලින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මතභේදාත්මක තත්ත්වයන් ඇති කිරීමේ පකිස්ථාන මෙහෙයුමක් සිදුවන බවටයි අදාළ වාර්තාව චෝදනා කළේ.

ඉන්දියාව හරහා ද මෙවන් මෙහෙයුම් සිදුවන බවට චෝදනා පැවතියද ඊට සාධක ඉදිරිපත්ව නැහැ.

පුවත යවන්න