පසුගිය මැයි 9 වැනිදා ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කරන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මහත්වරුන් සමග ඩෑන් ප්‍රියසාද් නමැත්තා අද(24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම ජංගම දුරකතන භාර දුන්නේය.
කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා පස්වරුවේ නියෝග කළේ, ජංගම දුරකතන අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන තෙක් සැකකරුවන් අධිකරණ භාරයේ රඳවා තබා ගන්නා ලෙසය.
මීට පෙර අධිකරණය සැකකරුවන්ට නිකුත් කර තිබූ නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන්, මෙම නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ නියෝග කඩ කරන්නේ නම් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.
මේ අතර, සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයට බලපෑමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද(24) අධිකරණයේදී ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ ඉන් අධිකරණ කටයුතුවලට සහභාගි වන නීතිඥවරුන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑමක් සිදුවන බවය.
සැකකාර මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය අඩංගු මුල් වීඩියෝ පටය අදාළ මාධ්‍ය ආයතනවලින් කැඳවා ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ අවසානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දෙන බවට දන්වා ඇති බවය.
නඩුව ලබන ඔක්තෝම්බර් මස 05 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.