පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාව සැප්තැම්බර් මස පළවෙනිදා තෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දී තිබෙනවා.
හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවපු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයායි මේ දැනුම්දීම සිදු කළේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් එලෙස අත්අඩංගුවට ගැනීමේ වැළැක්වීමේ නියෝගක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා. එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැදවනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බැවින් ඉදිරියේදී පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ. පෙත්සම්කාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා ඉකුත් නඩු දිනයේදී ලබා දුන් ප්‍රතිඥාව මී ළග නඩු දිනය තෙක් දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා.
2015 වසරේ රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා පසුව නිදහස් කරන ලද රේගු අධිකාරිවරුන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පවරා තිබෙනවා. මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකුගෙන් මෙම අල්ලස ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් 2015 වසරේදී අල්ලස් කොමිසම නඩු පවරා තිබුණා. අදාළ කොමසාරිස්වරුන්ට එරෙහිව නඩුව පැවරීමේදී ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ගොනු කර නොමැති බැවින් නඩුව මෑතකදී ඉල්ලා අස්කරගෙන තිබෙනවා. පසුව නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කළ අල්ලස් කොමිසම නැවතත් මහාධීකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළා.