සූවස් ඇළේ සිරවූ නැව ඉවත් නොකළොත් ලංකාවටත් ගැටළුවක් – (Video)

සූවස් ඇළ අවහිර කරමින් සිරව පවතින දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව කඩිනමින් ඉවත් නොකළහොත් එහි බලපෑම් මෙරටට ද එල්ලවිය හැකි බව කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ අපනයනවලින් බහුතරයක් යුරෝපයට සිදුකිරීම මත මෙම ගැටළුව මතුවන බවයි.

ශ්‍රී ලංකාවෙන් යුරෝපය, ඇමරිකාව ඇතුළු කලාපය වෙත සිදුකරන පළතුරු, මත්ස්‍ය අපනයනවලට මේ හේතුවෙන් බලපෑමක් ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

“ඉදිරියේ දී මේ සැපයුම් ජාලය සම්පූර්ණයෙන් අවහිර වීම නිසා කාලසටහනකට ක්‍රියාකරන නැව් ප්‍රමාද වෙන්න පුළුවන්. අපිට දැනුම් දෙන්න තියෙන්නේ ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට, මේ සැපයුම් ජාලය අවහිර වීම නිසා ඇති වී තිබෙන තත්ත්වය තේරුම් අරගෙන ගැනුම්කරුවන්ට සහ තමන්ට භාණ්ඩ සපනයන්නන් දැනුවත් කරලා ඒ සඳහා සූදානම් වෙන්න. අනිවාර්යයෙන්ම ප්‍රමාද වීමක් පළමු කොට සිදුවෙනවා, ඒ පමණක් නොවෙයි ඊට අමතරව භාණ්ඩවල මිල වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම රක්ෂණ වන්දි ඉල්ලීම් විවිධ පැතිවලින් එන්න පුළුවන්. මේ හැමදෙයක් ගැනම අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. මෙය විශාල නාවික අනතුරක් හැටියටයි ලෝකයම දකින්නේ.“

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකුවහොත්, ලංකාවට එන ආනයන, අපෙන් යන අපනයන ප්‍රමාද වෙනවා. ඒ වගේම අවශ්‍ය නැව් සේවා ඉදිරි කාලයේ දී අඩු වෙන්න පුළුවන්.  එම නිසා මේ නැව වහාම ප්‍රධාන නැව් මාර්ගයෙන් අයින් කළේ නැතිනම් වරාය ක්ෂේත්‍රයටම බලපාන තත්ත්වයකුත් ඉදිරි කාලයේ දී එන්න පුළුවන්. අපේ ප්‍රධානම වෙළෙඳ භාණ්ඩ අපනයන තිබෙන්නේ යුරෝපයට, මැදපෙරදිගට, මධ්‍යධරණී මුහුදට සහ එතනින් අත්ලාන්තික සාගරය හරහා ඇමරිකානු කලාපයට.  අපේ අපනයනවලින් 2/3ක්ම යන්නේ ඒ පැත්තට. ඒ නිසා අපේ අපනයනකරුවන්ට බලපෑමක් සැපයීමේ දී ඇතිවෙන්න පුළුවන්.“

ආසියාවේ සිට යුරෝපයට පවතින කෙටිම නාවික ප්‍රවාහන මාර්ගය වන්නේ සූවස් ඇළ මාර්ගයයි.
සැතපුම් 120ක් දිග එම ඇල මාර්ගය අවහිර වීම සමග , කිලෝමීටර 9000 ක පමණ දුරක් ගෙවා දින 9ක් යාත්‍රා කිරීමටයි ආසියාවේ සිට යුරෝපයට යාත්‍රා කරන නෞකාවන්ට සිදුවන්නේ.
මෙය බරපතල මට්ටමේ කාලය විනාශවීමක් මෙන්ම අධික පිරිවැයක් දැරීමට සිදුවන තත්ත්වයක් වනවා.
මේ වන විටත් බොරතෙල් සහිත නෞකා 24ක් හා දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකා 41 ක් ඇතුළු නෞකා 160ක් සූවස් ඇළ මාර්ගය තුල දෙපසට ගමන් කිරීමට නොහැකිව රැදී පවතිනවා.
ඒ එම් වී එවර්ග්‍රීන් නෞකාව වැලි කුණාටුවකට හසුවීමෙන් පසු සූවස් ඇළ හරහා සිරවීම මතයි.
බොරතෙල් ප්‍රවාහනයට මෙයින් බාධා මතුවීම සමග ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිලද මේ සමග ඉහළ ගියා.

පුවත යවන්න