සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතළ තත්වයක් – වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් ඉදිරියේදී තත්වය තවදුරටත් බරපතළ වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න එක්වී සිටි එම මාධ්‍ය හමුවේදී ඔවුන් වැඩිදුරටත් දැක්වූ අදහස්.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ,

“මේ වෙනකොට සමහර රෝහල්වල රුධිර පරීක්ෂණ කරන්න අවශ්‍ය පහසුමක් නැහැ. වෙනදා එක්ස් රේ එක මුද්‍රණය කළ කොලය හතරට කපලා තමයි දැන් එක්ස් රේ එක මුද්‍රණය කරන්නේ. ඉන්දියානු මූල්‍ය පහසුකම යටතේ ගෙන්වන ඖෂධවලින් 80% ලංකාවේ ලියාපදිංචි කළ ඖෂධ නෙමෙයි. ඒක බරපතළ තත්ත්වයක්. මේ අනවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න.”

නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සඳහන් කළේ,

“මේ තත්ත්වයට කඩිනමින් මැදිහත් නොවුණොත් ඉදිරි සුමාන කිහිපයකදී වගේ කාලයක් ඇතුළත අපිට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා.”

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ,

“මේ මොහොතේ ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිවීම නිසා මුලු පද්ධතියටම විශාල බලපෑමක් ඇතිවෙලා.”

පුවත යවන්න