සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අඛණ්ඩ වැඩ වර්ජනයක

හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (07) උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද උදෑසන 7 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සදහන් කළා.

එම වැඩවර්ජනය සඳහා පිළිකා රෝහල, ළමා රෝහල, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් සම්බන්ධ කර නොගන්නා අතර හදිසි හා ජිවිතාරක්ෂණ සේවාවන් සඳහා ද වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බව සඳහන්.

අද දිනයේ සිදුකරන වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා.

“කොවිඩ් -19 පාලනයට අදාළව මෘත දේහ නිදහස් කිරීම සහ අසාධ්‍ය රෝගියෙක් රෝහල්ගත කිරීමේ අත්‍යාවශ්‍ය රාජකාරි අපි ස්වෙච්චාවෙන් කරන්න බලාපොරෝත්තු වෙනවා. ඊට අමතරව අපොස උසස්පෙළ විභාගයේ, විභාග ශාලා ආශ්‍රිතව කොවිඩ් -19 ගැටලු නිර්මාණය වුණොත් ඒ අවශ්‍ය සහාය අපි ස්වෙච්චාවෙන් අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරලා, මේ ඉල්ලීම්වලට අදාළ මූලික අරගල මූලික වෘත්තීය සටන් රාශියකට පස්සේ තමයි අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවෙන්නේ. රට මේ මොහොතේ තියෙන්නේ බැරෑරුම් තත්ත්වයක. ඒක අපි දන්නවා. කොවිඩ් -19 රෝගීන් විශාල වශයෙන් බිම් මට්ටමෙන් වාර්තා වෙනවා. මේ වෘත්තීය අරගලය ඇරඹුණාට පස්සේ මහජනතාවට බාධාවක් පීඩාවක් නොවී පාලනය කර ගැනීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට වගේම මේ රජයට.”

පුවත යවන්න