හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ ෆේස් බුක් සීමා කරලා

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට තුල ෆේස් බුක් සමාජ ජාලය භාවිත කිරීමට බාධා මතුව ඇති බව ෆේස් බුක් සමාගම පවසනවා.
ඒ අනුව අන්තර්ජාල සේවා සපයන ආයතන කිහිපයකටම ෆේස් බුක් සමාජ ජාලය සීමා කිරීමට නියෝග හිමිව ඇති බවයි එම සමාගම පවසන්නේ.
එම තහනම ඉවත් කර ,මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ පවුල් හා මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමට සහ වැදගත් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි සම්බන්ධතාවය යථා තත්වයට පත් කරන ලෙස ෆේස් බුක් ආයතනය මියන්මාර හමුදා පාලනයෙන් ඉල්ලා තිබෙනවා.
ෆේස් බුක් සමාජ ජාලය මියන්මාරයේ බෙහෙවින් ජනප්‍රිය වන අතර එරට රජයේ අමාත්‍යාංශ විසින් මහජනතාවට තොරතුරු සැපයීම සදහා ද බහුල වශයෙන් ෆේස් බුක් භාවිත කර තිබුණා.
ලොව පුරා අන්තර්ජාල ක්‍රියා විරහිත කිරීම් අධීක්ෂණය කරන නෙට් බ්ලොක්ස් පැවසුවේ මියන්මාරයේ සේවා සපයන්නන් හරහා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වෙත පිවිසීම ද අවහිර කර ඇති බව තහවුරු වූ බවයි.

පුවත යවන්න