හෙට කලාප දෙකකට පැය හතහමාරක විදුලි කප්පාදුවක්

හෙට (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළේය.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

මේ අතර බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඉකුත් මාර්තු 02 වැනිදා දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 37,000ක නෞකාවේ ඉතිරිව ඇති සුපිරි ඩීසල් තොගයක් හා මාර්තු 04 වැනිදා දිවයිනට පැමිණි නෞකාවේ ඇති ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28, 300ක් ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කළ බවය.

එළඹෙන සතියේ තවත් ඉන්ධන නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතය.

පුවත යවන්න