හෝටලයක් ඉදිකරන බව කියූ සිංහරාජයේ ඉඩම ගැන රජයේ ස්ථාවරය හෙලිකරයි

හෝටලයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවට චෝදනා එල්ලවන සිංහරාජ වනාන්තර කලාපයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාව පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
අක්කර 7 ක භූමි ප්‍රදේශයකින් යුතු අදාළ ඉඩම එළිපෙහෙළි කර හෝටලයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවට එල්ලවූ චෝදනා පිළිබද අවදානය යොමු කරමින් මෙම පියවරගන්නා බව යි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.
අදාළ ඉඩමේ තිබූ ගස් කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් අනුමැතිය ලබාදී නොමැති බව ද මේ වන විට හෙලිව ිතබෙනවා.
එවැනි සිදුවීමක් සිදුවන තුරු තම රාජකාරී ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම ග්‍රාම නිලධාරීවරයා ද වගකිවයුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේවෙතත් මෙම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම රජයේ වත්මන් ස්ථාවරය වී ඇති බව යි මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේ.
අදාළ ප්‍රදේශයේ තවත් අක්කර 1500 ක භූමි ප්‍රදේශයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර ඉදිරි සතිය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරනවා.

පුවත යවන්න