122 පෙත්සම විසි කරන්න / ආණ්ඩුව අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට  සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් 122  කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි  අදාළ පෙත්සමෙ  වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති නොමැති බවයි එහිදී අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කියන හැන්සාඩ් වාර්තාවේ  අන්තර්ගත තොරතුරු අසත්‍ය  හා සාවද්‍ය බව කියා සිටියා.

එවැනි අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු අන්තර්ගත හැන්සාඩ් වාර්තා පදනම් කරගෙන අධිකරණයට නියෝගයක් නිකුත් කළ නොහැකි බවටයි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කළේ.