21 සංශෝධනය ඉල්ලපු එක නොවේ / ජනාධිපතිට තවත් බලය දීලා / මෛත්‍රීපාල කියයි

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළා.

එය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස් බව කී හිටපු ජනාධිපතිවරයා එමගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම  තවත් බලතල ලබාදී ඇති බවත්, එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව පැවසුවා.

වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව ඇතැයි ද ඔහු සදහන් කළා.

ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට තවමත් සූදානම් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා ඔහු කියා සිටියා.

පසුගිය මැතිවරණයන් සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සටන්පාඨය වූ ජාතික ආරක්‍ෂාව ඇතුළු සියලු සටන්පාඨ මේ වන විට අවලංගු වී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන සදහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පුවත යවන්න