” ගංගා අපගේ සහෝදරයෝය. ඔවුන් අපගේ පිපාසාව නිවන්නෝය. ඔවුන් අපගේ බෝට්ටු රැගෙන යන්නෝය, අපගේ දරුවන්ගේ කුසගිනි නිවන්නෝය. එහෙයින් ඔබගේ සහෝදරයාට ඔබ දක්වන කරුණාව ගංගාවටත් දක්වන්න. මේ භූමිය අප ඔබට විකුණන්නේ නම්, මේ සුළඟ අපට වටින බව සිහි තබා ගන්න. ඒ සුළඟින් ජීවය ලද සියල්ලන් සමඟම සුළඟ තම ප්‍රාණජීවය බෙදාගන්නේය. මගේ මුත්තණුවන්ට ප්‍රාණජීවය ලබා දුන් සුළඟම ඔහුගේ අවසන් හුස්මත් ලබා ගත්තේය. ඒ සුළඟ අපේ දරුවන්ට ප්‍රාණජීවය සපයන්නේය. අප මේ භූමිය ඔබට විකුණන්නේ නම්, ඔබ මෙය තණබිම්වල මලින් සුගන්ධවත් වූ සුළඟේ පහස විඳිය හැකි ශුද්ධ වූ භූමියක් ලෙස තබා ගත යුතුය. “
රතු ඉන්දියානු ගෝත්‍රික නායකයකු වූ සියැටල්ගේ සුවිශේෂ ලිපියේ ඉහත සදහන් සටහන දක්වා තිබේ.එයින් ඔහු පෙන්වා දී තිබුණේ මිහිකත මත සියළු වස්තූන් මිනිසාට අයත් වන්නක් නොව මිනිසා එහි අංශුවක් තරම් කුඩා කොටසක් බවය.
කෙසේ වෙතත් වර්තමාන මිනිසා ලෝකය තමනට අවැසි ආකාරයෙන් පාලනය කිරීමට තැත් කිරීමේ ප්‍රතිඵලය මත ලෝකය දරුණු මට්ටමේ ව්‍යසනකාරී තත්ත්වයකට වේගයෙන් ගමන් කරමින් පවතී.
එය විද්‍යාඥයන්ට අනුව හඳුන්වනු ලබන්නේ ගෝලීය දේශගුණික විපර්යාසය ලෙසයි.
අසීමාන්තික පරිදි අහිතකර කාබන් වායුගෝලය වෙත මුදා හරිමින් ගතවූ සියවස් කිහිපයේ මිනිසාගේ ක්‍රියාකාරීත්වය මෙම බිහිසුණු අවදානම වෙත අප කැදවමින් සිටී.
පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය අහිමිවෙමින් මහා පරිමාණ ආපදා වෙත අප ළගාවෙමින් සිටින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
පෘථවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් ඉහළයාම සමග , ධ්‍රැවීය අයිස් දියවීම වේගවත්ව පවතී.එහි ප්‍රතිඵලය ලෙස ලෝකයේ සාගර ජල මට්ටම් අනපේක්ෂිත ලෙස ඉහළයාමේ අවදානම ලෝකය භුක්ති විදිනු ලබයි.
සියවස් ගණනාවක් පුරා ආරක්ෂිතව පැවති ජර්මනියේ දූපත් රැසක් සතියකට වරක් මුහුදේ ගිලීයන අවදානමට පත්ව ඇත්තේ මෙම තත්ත්වය මතය.
ඉන්දුනීසීයාවේ ජකර්තා නගරය මුහුදේ ගිලීයාම , බැංකොක් නගරය ගිලා බැසීම ආදී තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින්නේ මෙහි ඉරණමක් ලෙසය.
ඇමසන් , කොංගෝ ආදී වනාන්තර ඉහළ යන කාබන් ප්‍රමාණය උරා ගනිමින් මිනිසා හා සත්ත්ව සංහතිය වෙනුවෙන් තවමත් සටනක නිරත වෙයි.
එහෙත් අකාරුණික මිනිසා ඇමසන් වනය ද මහා පරිමාණයෙන් වනසමින් එය සැවනා බිමක් බවට පත් කරමින් සිටී.
එය මිනිසා බේරාගැනීමේ සටනක නිරත වන දැවැන්තම වැසි වනය වනසා දමා මිනිසා ද වැනසී යාමේ පෙර නිමිත්තකි.
මෙසේ වනාන්තර අහිමි වන සෑම මොහොතක්ම පෘථවියේ උණුසුම ඉහළ යාමට හේතුවන බව නිසැකය.
එපමණක් නොව ලෝකය පුරා මානව ක්‍රියාකාරකම් මත අහිතකර කාබන් වායු බහුල වශයෙන් නිකුත් කරමින් පවතී.
ගල් අඟුරු දහනය එහි බරපතලම ඛේදවාචකයකි.
මෙම ව්‍යසනයේ ප්‍රධානතම හානිකර තත්ත්වයක් ලෙස මාරක වෛරස හා වසංගත මිනිසා වෙත ළගාවෙමින් පවතී.
අද අප මුහුණ දෙන කොරෝනා වසංගතය ද එහි ඉතා කුඩා ප්‍රහාරයක් පමණි.
ගෝලීය උණුසුම සමග දියවී යන අයිස් හා ග්ලැසියර තුල වසර මිලියන ගණනකට පෙර තැන්පත්වූ මාරක වෛරස හා බැක්ටීරියා සජීවී තත්ත්වයේ පවතී.
ඒවා දියවීමෙන් යළිත් මිනිසා වෙත ළගාවිය හැකි වන්නේ තවත් බරපතල මට්ටමේ වසංගත තත්ත්වයක් බව නිසැකය.
2015 වසරේ දී රුසියාවේ දියවූ අයිස් මතින් ඇන්ත්‍රැක්ස් බැක්ටීරායාව මතුවූ අතර එය ස්පර්ශ කළ දරුවකු හදිසි මරණයකට ලක්වීම ඛේදවාචකයකි.
එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙම බැක්ටීරියාව හඳුනාගත් අතර එය වසර මිලියන ගණනක් පුරා අයිස් තුල සජීවීව පැවැති බව හඳුනාගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබිණි.
මෙවන් විවිධ මට්ටමේ ව්‍යසන මිනිසා වෙත කැදවන ගෝලීය දේශගුණික විපර්යාසය පිළිබද සංවේදී නොවන්නේ නම් එම අනාගත පරපුරට එරෙහිව සිදුකරන ත්‍රස්ත ක්‍රියාවකට සමාන අපරාධයකි.
මේ වන විට බලවත් රටවල් රැසක් 2050 හා 2060 වන විට කාබන් නිකුත් කිරීම ශූනය කිරීමේ උත්සාහයක නිරතව සිටී.එහෙත් විද්‍යාඥයන්ට අනුව 2030 දී අප ළගාවිය යුතු එම ඉලක්කය 2050 දී අත්කර ගැනීමට යාම ව්‍යසනයකි.මේ සමග 2030 වන විට ලෝකයේ ස්වාභාවික ආපදා ස්ථිර වශයෙන්ම වර්ධනය වන බව සහතික කර තිබේ.දෛනිකව ලෝකයේ වාර්තාවන භූ කම්පන ,ගිනි කඳු පිපිරීම් හා වෙනත් ආපදා ඉහළ යාම වේගවත්ව තිබේ.
මෙහි අහිතකර ප්‍රතිඵලයන් ලෙස නුදුරේදීම ලෝකය දීර්ඝ නියං තත්ත්වයන් , අසාමාන්‍ය ශීත කාලගුණ තත්ත්වයන් මෙන්ම විවිධ දේශගුණික විපර්යාසයන්ටද ගොදුරුවීමේ අවදානමක පවතී,විද්‍යාඥයන්ට අනුව ආසියාව, අප්‍රිකාව හා යුරෝපය අධික උණුසුම් කාලගුණයකට මෙන්ම ලෝකයේ අනෙක් කොටස් අධික ශීත කාලගුණයකට ලක්වීමේ සම්භාවිතාවයක් පවතී. ඒ අනුව ලංකාව ඇතුලත් වනුයේ උෂ්ණත්වය ඉහළ යන රවල් කාණ්ඩයටයි.
එසේම මුහුදු ජල මට්ටම් ඉහළ යාමේ ගොදුරක් බවටද ලංකාවට පත්වීමට නියමිතයි.මේ සියල්ල පසුපස රැදී පවතින්නේ මිනිසා විසින් නිර්මාණය කළ ගෝලීය දේශගුණික විපර්යාසයයි.මෙම ඛේදවාචකය අවසන් කිරීමට මිනිසා අසමත්වුවහොත් අනාගතයේදී ඉතිරි වන්නේ අජීවී ලෝකයක් බව විද්‍යාඥයන්ගේ තර්කයයි.
කලකදී අඟහරු ලෝකය පෘථවියට සමාන මට්ටමින් පැවත අද පවතින වියලි ලෝකයක මට්ටමට ළගාවීම ද දේශගුණික විපර්යාසයක ප්‍රතිඵලයක් විය හැකි බවට මතවාද ඉදිරිපත්ව තිබේ.
විද්‍යාඥයන්ගේ මතයන්ට අනුව මිනිසා ඇතුළු සත්ත්ව සංහතිය ගමන් කරමින් පවතින්නේ 6 වන මහා විනාශය වෙතයි.
එය වැලැක්වීමට අවශ්‍ය නම් සියැටල් වැනි නායකයන් ලෝකයේ බිහිවිය යුතුව ඇත.සියැටල් වැනි පරිසර හිතකාමීන් මිලියන ගණනක් ලෝකය තුල බිහිවිය යුතුව ඇත.
එය පැහැදිලිවම දුෂ්කරය.නමුත් කළ නොහැක්කක් නොවේ.මිනිසා තවදුරටත් මිහිමත රැදී සිටීමට නම් සටන් කිරීම වෙනුවට සොබාදහමට ආදරය කළ යුතුය.
නැතහොත් මිනිසාගේ ඉරණම ඉදිරි සියවස තුල සොබාදහම විසින් ලියා අවසන් කරනු ඇත.
අමල් අල්මේදා
උපුටා ගැනීම www.amalalmeda.com වෙබ් අඩවියෙන්.