ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත්ව ඇති මානව හිමිකම් යෝජනාව ඉදිරියට ගෙන නොයන ලෙස එක්සත් ජනපද විදේශ කටයුතු කමිටුවෙන් ලක් රජය නිල වශයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ වොෂිංටන්හි තානාපති රවිනාථ ආරියසිංහ මගින්.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් සහ තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු පසුගිය මැයි 18 වැනි දින අංක 413 දරණ අදාල යෝජනාව ඉදිරිපත් කළා.
අනතුරුව ඒ පිළිබඳ මෙරට විදේශ අමාත්‍යාංශය අවධානය යොමු කරනු ලැබුවා.
සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කළ ශ්‍රී ලංකා රජය එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව දැඩි ලෙස විරෝධය පළ කළේ ඉන් අනතුරුවයි.
මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග්රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බව සඳහන් කළ හැකි බවයි විදේශ අමාත්‍යාංශයේ මතය වුණේ.
මෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන එන ලද්දක් බව ලක් රජයේ අදහසයි.
අනතුරුවයි ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිචාරය වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා, කොන්ග්රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයින් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත යොමුකර ඇත්තේ.
ඒ අනුව ශ්‍රී ලංකා රජය පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන චෝදනා අඩංගු යෝජනාවේ අන්තර්ගතයට දැඩි ලෙස විරුද්ධ බවයි. පක්ෂග්රාහී සහ සනාථ නොකළ, යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු වන බවද රජය දන්වා තිබෙනවා.
1997 සිට එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද එල්ටීටීඊය “සන්නද්ධ ස්වාධීන සංවිධානයකට” සමාන කරන අදාල යෝජනාව යථාර්ථයන් වැරදි ලෙස නිරූපණය කරන බවද ලක් රජය එහිදී පවසා තිබෙනවා.
සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සහ නිදහස් කිරීම සඳහා වූ මානුෂීය මෙහෙයුම 2009 මැයි මාසයේදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙහිදී පුලුල් ලෙස අවධාරණය කරනු ලැබුවා.