ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහරදුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි කිසිදු සිදුවීමක් සිදු වූ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.
ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිර්දෝශී අයුරින් ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් වන බව ද එම නිවේදනයේ සඳහන්.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියලු ධීවර ගැටලු, ස්ථාපනය කර ඇති ද්විපාර්ශවීය යාන්ත්‍රණයන් සහ අවබෝධතාවයන් හරහා මානුෂීය ආකාරයකින් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.
ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව තිබුණා.
ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවයි.
ඊයේ (17) පස්වරුවේ ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා දෙක දික්ඕවිට වරායට සේන්දු වූ අතර තුවාලකරුවන් තිදෙනකු මීගමුව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධියට මුහුණදුන් ධීවරයින් රැගත් බහුදින යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ මැයි මස 07 වැනිදායි.