මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ගැන චෝදනා එල්ලවුණු මේජර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සෙ ඇප නියම කෙරුණා. ඔහු අද උදෑසන හබරණ පොලීසියට භාරවීමෙන් පසුවයි අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් කණ්ඩායමකට බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කළ බවට 21 වන හමුදා සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතාට චෝදනා එල්ලවුණා. ජාතික වනෝද්‍යානයේ බටහිර ප්‍ර දේශයේ ගැවසෙන අලිපැටවෙකු පැහැර ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් පසුගිය 23 වනදා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළා.
එම අවස්ථාවේ සැකකටයුතු ලෙස මෝටර් රථ 2 ක් වනෝද්‍යානයට ඇතුළවී ඇති අතර එම රථ පරීක්ෂා කිරීමට උත්සාහ කළ ද නොනවත්වා ධාවනය කර තිබෙනවා. වනජීවී නිලධාරීන් එම රථ පසුපස ලුහුබැද ගොස් යළි පැමිණෙන අවස්ථාවේ ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කළ බවටයි මේජර් ජෙනරාල්වරයාට චෝදනා එල්ලවුණේ. සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල්වරයා අද උදෑසන පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මේජර් ජෙනරාල්වරයා මුදාහැරීමට අධිකරණය නියෝග කළා.