රනිල් වික්‍රමසිංහගේ හා රතන හිමිගේ මන්ත්‍රී ධූර අහෝසි කරන්න ඉල්ලා පෙත්සමක්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ මන්ත්‍රීධූර බල රහිත කිරීමේ නියෝගයක් කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහත්මයයි මෙම පෙත්සම ඉදිරිපත් කරල තියෙන්නේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඇතුලු එහි සාමාජිකයන් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා සදහන් කළේ සෑම පක්ෂයක්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරුන් සතියක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවට දන්වා මැතිවරණ කොමිසම 2020 වසරේ අගෝස්තු මස හත් වනදා පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දීමක් සිදුකර ඇති බවයි. එහෙත් අදාල කාල සීමාව තුළ එක්සත්ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තුවෙන් පත් වන මන්ත්‍රීවරුන් පිළිබදව තොරතුරු මැතිවරණ කොමිසමට ලබාදී නැති බවයි පෙත්සමෙන් චෝදනා කර ඇත්තේ.

මේ තුළින් තමාගේ සහ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාල මන්ත්‍රීධූර බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

පුවත යවන්න