කොරෝනා මැද ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක්

මාරාන්තික ඩෙංගු රෝගයද හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

පසුගිය ජනවාරි පළමු වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 11142 නෙකු හමුවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. ඩෙංගු රෝගීන්ගෙන් 38.3 %ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

රට තුල කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, නැවත ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍යයේ නිසි පැවැත්මට දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩකඩ ඇති බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වීම අනිවාර්ය බව ද වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.

1. ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම.

· නිවස තුල ඩෙංගු මදුරු කීටයින් බෝවිය හැකි ජලය රැස්කරන භාජන, ශීතකරණ තැටි හා විසිතුරු මල්බදුන් පිරිසිදු කිරීම.

· නිවස අවට පරිසරයේ ඇති ඉවතලන භාජන, හිස් ටින්, යෝගට් කෝප්ප, පොල්කටු, ප්ලාස්ටික් හා පොලිතින් ඇසුරුම් ජලය රැස් නොවන සේ ගබඩා කිරීම හෝ නිසි කසල කළමනාකරණ ක්‍රමවේදයන්ට අනුකුලව බැහැර කිරීම.

· වැහිපීලි සහ කොන්ක්‍රීට් වහල සතියකට දෙවරක් වත් ජලය එක්රැස් නොවන සේ පිරිසිදු කිරීම.

2. ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම.

· ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදෑසන සහ සවස් කාලයේ දී , ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ආලේප කරන්න. අනුමත මදුරු විකර්ශකවල නාම ලේඛනයක් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ www.dengue.health.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක .

· විශේෂයෙන් කුඩා දරුවන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවලදී ශරීරය ආවරණය වන සේ ඇඳුම් භාවිතා කිරීම මගින් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා විය හැක.

3. ඩෙංගු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම හා ඩෙංගු රෝගය සැක කරන අවස්ථාවන්හි දී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

· තද උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, මස්පිඩු හා හන්දිපත් වේදනාව, ඔක්කාරය හා වමනය ඇති අවස්ථාවලදී නොපමාව වෙද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම.

· කොවිඩ්, ඩෙංගු වැනි වෛරස් රෝගවල මුලික අවස්ථාවන් වලදී, රෝග ලක්ෂණ බොහෝදුරට සමාන බැවින් ඉහත රෝග ලක්ෂණ ඇති අවස්ථාවන්හිදී කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අතිශයින් වැදගත්ය.

පුවත යවන්න