මුහුණු ආවරණ නීතිය දැඩි කරයි

මුහුණු ආවරණ සම්බන්ධ නීතිය අද(14) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, පොදු ස්ථානයකදී යම් පුද්ගලයෙකු මුහුණු ආවරණ නොමැතිව සිටියහොත් ඔහු හෝ ඇය නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 264 වගන්තිය යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලෙසට දිවයිනේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේ වනවිට උපදෙස් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඊට අමතරව මුහුණු ආවරණ නිසිආකාරව පැළඳ නොසිටියහොත් එය ද වරදක් සේ සලකා, කටයුතු කිරීමට නියමිතය.

එම නිසා නිවසින් පිටවන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පැළඳීමට කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුවත යවන්න