බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පනවා ඇති දඬුවම් 2014 වසරේ ජූලි 18 වන දා සිට ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය තීරණය තිබේ.
තමන්ව එම දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (19) ඔවුන් වෙත එම දැනුම් දීම සිදුකළේය.
2011 වසරේ දෙසැම්බර් මස 25 තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරු කළ කොළඹ මහාධිකරණය 2014 වසරේදී ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළේය.
එම දඬුවම අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළ අතර අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ විත්තිකරුවන්ට පණවා තිබූ දඬුවම් මහාධිකරණ තීන්දුව ලබා දුන් 2014 වසරේ ජුලි මස 18 වනදා සිට ක්‍රියාත්මක කිරීමටය.