නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක තිබී සොයාගත් අත්බෝම්බය සැකකරු රැගෙන එනු ලැබුවේ කොළඹ 07 – විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයෙකුගේ නිල නිවසකින් බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.
සැකකරුගේ මේ ප්‍රකාශය තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටියදී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇත.
ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මේ වන විට එම නිවෙස් කැබිනට් අමාත්‍යවරයෙක් පදිංචිව සිටින බවත්, මෙම ජීව අත්බෝම්බය සහ පතුරම් සොයා ගෙන ඇත්තේ අදාළ ඇමැතිවරයා එම නිල නිවසේ පදිංචි වීමට පෙර බවත් සැකකරු පවසා තිබේ.
ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුනයෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම අත්බෝම්බය රෝහල් වැසිකිලිය තුළ තැබුවේ ඒ සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුවක් ලබා දී කිසියම් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බවට සැකකරු මීට පෙර පාපොච්චරණය කර තිබේ. – Aruna