අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් අද (22) කැඳවනු ලැබීය.
එම පෙත්සමින් තවදුරටත් ඉල්ලා සිටින්නේ කබ්රාල් මහතාව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත්කරන ලෙසය.
එම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා අභියාචනාධිකරණය අද එහි වගඋත්තරකරුවන්ට කල් ලබාදුන්නේය.
මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මෙම නඩුවට අදාළ ලේඛන ලැබුණේ ඊයේ රාත්‍රියේ බවත් ඒවා අධ්‍යයනයකර සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ද අධිකරණයට දන්වා සිටියේ අදාළ ලේඛන අධ්‍යයනයකර සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙසය.
ඒ අනුව පෙත්සම සලකාබැලීම ඔක්තෝබර් මස 7 වනදා දක්වා කල්තැබූ අභියාචනාධිකරණය, මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා ලබන 30 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියමකළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව එම බැංකුව තුළ අගතිදායක ආකාරයෙන් ස්ථානමාර කිහිපයක් සිදුකර ඇති බවත් එවැනි කටයුතු වැළැක්වීමේ කිසියම් නියෝගයක් තමන් අධිකරණයෙන් අපේක්ෂාකරන බවත් දන්වා සිටියේය.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ. වයි.පී. ප්‍රනාන්දු මහතා යන අයව නම්කර තිබේ.