ජවහර්ලාල් නේරු තුමා ලංකාවට පැමිණි අවස්ථාවක අනුරාධපුරයේ කළ සංචාරයකදී සමාධි බුදු පිළිමය දෙස බලා, වශීකෘත වී සිටි සිද්ධියක් අපි අසා ඇත්තෙමු. එතුමා සමාධි බුද්ධ ප්‍රතිමාව දෙස ඇසි පිය නොහෙළා බලා සිටියේ එයින් උතුරා හැළෙන මහා කරුණාව, මෛත්‍රිය, දයාව යන ගුණ සමුදාය තුළින් ජීවමාන බුදුන් නිරූපණය වන නිසාය.
“මේ තරම් සියුමැලි ද කළුගල් හිතන්නටවත් බැරි නිසා – මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා” යනුවෙන් රජීව් වෙල්ගම පබැඳු ගීතයක ද සඳහන් වී තිබෙන්නේ ඈත අතීතයේ බුදු පිළිම නිර්මාණය කළ මිනිසුන් සියුමැලි අන්දමින් බුදු පිළිම නෙළීමට මනා නිපුණත්වයක් පෙන්වූ නිසාය. සමාධි බුදු පිළිමය, අවුකන බුදු පිළිමය, තිවංක බුදු පිළිමය, ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමය, වැවුරුකන්නල බුදු පිළිමය ආදි වශයෙන් ලංකාවේ ප්‍රකට බුදුපිළිම රාශියක් තිබේ.
එහෙත් වර්තමානයේ බුද්ධ ප්‍රතිමා හන්දියක් හන්දියක් ගාණේ පිහිටා ඇති අයුරු දැකගත හැකිය. ඊට අමතරව අච්චුවකට දමා බුදුපිළිම ඇඹීමේ කලාවක් ද මේ වන විට ප්‍රචලිතය. එදා ඉතාමත් ගෞරවාන්විතව භක්තිමත් ආකාරයට සිදු කළ බුද්ධ ප්‍රතිමා නෙළීෙම් කලාව, අද දවසේ බුදු පිළිම විකිණීමේ ලාභ ලබන ව්‍යාපාරික කලාවක් බවට පත් වී තිබේ. බුදු පිළිමවලින් මූර්තිමත් වන මහා කරුණාව වෙනුවට බුදු සිරස, කඳ, ශ්‍රී පතුල්වල අසමානතා පළ වීමෙන් විකාර රූපයක් දිස්වන අවස්ථා ද නැතිවා නොවේ.
“බුද්ධ ප්‍රතිමා කියන්නේ පූජනීය තත්ත්වය ලබන උද්දේශික වස්තුවක්. බුද්ධ ප්‍රතිමාවක ධාතු නිදන් කළොත් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ශාරීරික වස්තුවක් බවට පත් වෙනවා. බෝධියක් අසල බුදු පිළිමයක් නිර්මාණය කළොත් එය පාරිභෝගික වස්තුවක් බවට පත් වෙනවා. මේ තරම් පූජනීය වස්තුවක් වන බුදු පිළිම එක් එක්කෙනාට හිතෙන හැටියට අඹලා අද ව්‍යාපාරයක් බවට පත්වෙලා. එහි නිර්මාණාත්මක කලාව අමතක කරලා, එහෙම නැතිනම් බුදු පිළිම ඇඹීමේ කලාව දන්නේ නැහැ. බුදු පිළිම නිර්මාණය කිරීමේ කලාවක් තිබෙනවා. එම ශාස්ත්‍රය නිසි පරිදි පරිහරණය කරන්න ඕනෑ, ඒ ගැන අධ්‍යයනය නොකර, කරන්නන් වාලේ කරන්න යෑමෙන් තමයි වෙනස් වෙනස් ස්වරූප ගත් බුදු පිළිම අපිට දකින්න ලැබෙන්නේ.” යනුවෙන් සඳහන් කරමින් සාකච්ඡාවට පිවිසියේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ ය.
පුරාණයේ පටන් බුදු පිළිම සකස් කළ යුතු මානක ක්‍රම පවතින බව පැවසූ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ, සංස්කෘත බසින් ලියැවුණු “බිම්බමානය හෙවත් ශාරිපුත්‍රය” කෘතියේ මේ බව විස්තරාත්මකව දක්වා ඇති බව ද පැවසීය. මෙම කෘතියේ සඳහන් ආකාරයට හිටි පිළිම, හිඳි පිළිම, ඔත් පිළිම ආදී පිළිම නෙළීමේදී භාවිත කළ යුතු මානක ක්‍රම වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.
නිදසුනක් වශයෙන් හිඳි පිළිමයක් නිර්මාණය කිරීමේදී කේශාන්තයේ සිට ආසනය දක්වාත් වම් උරහිසේ සිට දකුණු දණහිස දක්වාත් දකුණු උරහිසේ සිට වම් දණහිස දක්වාත් වම් දණහිසේ සිට දකුණු දණහිස දක්වාත් ප්‍රමාණය එක සමාන විය යුතුය. එය හැඳින්වෙන්නේ චතුර්මානක යනුවෙනි. බුදු පිළිමයක කේශාන්තයේ සිට නිකට දක්වා ඇති උස මුහුණක් ලෙස දක්වා ඇත. මෙම මුහුණක උස තුනට බෙදිය යුතු අතර කේශාන්තයේ සිට නේත්‍රා අවසාන වන තෙක් ඇති කොටස නේත්‍ර සූත්‍රය ලෙසිනුත් නාසයේ ආරම්භයේ සිට අවසානය තෙක් ඇති කොටස පුට සූත්‍රය ලෙසිනුත් නාසය අවසානයේ සිට නිකට දක්වා ඇති කොටස හනු සූත්‍රය ලෙසිනුත් හඳුන්වා දී ඇත. ගෙල කොටසට ගැනෙන්නේ මුහුණෙන් 1/3 ක උසකි. පර්යංක ආසනය නිර්මාණය කිරීමේදී වම් පාදය යට වී දකුණු පාදය උඩින් පිහිටිය යුතුය.
“බුද්ධ ප්‍රතිමා නෙළීමේ කලාව අතීතයේ සිට පැවතගෙන ආපු දෙයක්. අපිට ඉන්දියාවෙන් උරුම වුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. මම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රුහුණු සේවයට කලා සඳැල්ල වැඩසටහන් මාලාව කරද්දි දවසක් වැවුරුකන්නල බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියාව හමුවෙන්න ගුවන්විදුලි පටිගත යන්ත්‍ර එහෙම අරගෙන ඔහුගේ ගෙදරට ගියා. වැවුරුකන්නල බුදු පිළිමය අඩි 100 ක් උසයිනේ.
මැටියෙන් නිර්මාණය කරද්දි නම් මැටි ගුලියක් කඩලා අඩු කරගෙන වැඩි කරගෙන සකස් කරගන්න පුළුවන්. ඒත් අඩි 100 ක් උස පිළිමයක් ඉතාමත් නිවැරදිව ගඩොලින් බැන්දෙ කොහොමද කියලා මට ප්‍රශ්නයක් තිබුණා.
මම ඒ ගැන ඔහුගෙන් විමසුවාම අපේ පරම්පරාවේ දායාදය මේක තමයි කියලා මට පුස්කොළ පොතක් ගෙනත් දුන්නා. මෙම නිර්මාණ ශිල්පියා පාරම්පරික නිර්මාණ ශිල්පියෙක්. ඔහුට ඒ පුස්කොළ පොත ලැබී තිබුණේ ඔහුගේ පියාගෙන්. ඒ පොතේ තියෙන විදිහට මිසක, අබමල් රේණුවක් තරම්වත් වෙනසක් කරන්නේ නැහැ කියලා ඔහු එදා කිව්වා. ඔහු මට දීපු පොත තමයි ශාරිපුත්‍රය. එය සංස්කෘත භාෂාවෙන් ලියා තිබුණේ. මම ඒ පොත ෆොටෝකොපි කර ගත්තා. මෙම සිද්ධියෙන් අපිට පැහැදිලි වෙනවා අතීතයේ සිට බුදු පිළිම නෙළීමේදී ශාරිපුත්‍රයේ සඳහන් මානක ක්‍රම අනුගමනය කළ බව.” යනුවෙන් සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ විස්තර කළේය.
බෙලිඅත්ත අඟුල්මඩුව ග්‍රාමයේ විසූ වැවුරුකන්නල බුදු පිළිමය නෙළූ නිර්මාණ ශිල්පියාගේ නිවසට මහාචාර්යවරයා යන විට ඔහු ලණු ඇඳක වැතිරී සිටි බව පවසද්දි “කලාවැව ළඟ ඉලුක් හෙවණක මැටි පිලක පැදුරක් එළා” යනුවෙන් නිර්මාණ ශිල්පියාගේ ඛේදවාචකය ගැන කියවෙන ගීතය මට සිහිපත් වූයේ නිරායාසයෙනි.
සංස්කෘත බසින් රචනා වූ “බිම්බමානය හෙවත් ශාරිපුත්‍රය” පොත සම්මානිත මහාචාර්ය වෝල්ටර් මාරසිංහ විසින් සිංහල බසට පරිවර්තනය කර තිබේ. මීට අමතරව සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටෙගොඩ විසින් බුදු පිළිම නිර්මාණය කළ යුතු ආකාරය සඳහන් කරමින් පොත් පිංචක් සකස් කර බෞද්ධ විහාරස්ථානවලට බෙදා හරිනු ලැබුවේ බුද්ධ ප්‍රතිමා නිවැරදි මිනුම් ක්‍රම යටතේ නෙළිය යුතු බැවිනි.
බුදු පිළිම සකස් කළ යුතු මානක ක්‍රමවලට පටහැනි ආකාරයට නිර්මාණය කළ විට රටේ රජුටත් රටවැසියන්ටත් අපල ඇති වන බව ද ශාරිපුත්‍ර විසින් ශ්‍රවණය කරන ලද ගෞතම ශාස්ත්‍රයේ බිම්බමාන කෘතියේ 20, 21 වැනි ශ්ලෝකවල සඳහන් වී ඇත. එය දක්වා ඇත්තේ මෙලෙසිනි.
“තස්මාත් සර්වෙෂු – ම් –
ඉත්‍යුක්තං විපරීතන් න කාරයෙත්
විපරිතෙන සංයුක්තං රාජරාෂ්ට්‍ර විනාශනම්”
“ස්ථානභ්‍රංශං ච ආදෙශ්‍යං
චිරමායුර් න වර්ධතෙ
යජමානාධිකධාම යුක්තං කුර්යාද් විචක්ෂණඃ”
(අර්ථය – මෙහි සඳහන් සෑම මිනුමක් ම සම්බන්ධයෙන් ම මීට විපරිත අයුරකින් ක්‍රියා නොකළ යුත්තේ ය. එසේ විපරිත අන්දමින් කළහොත් එය රජුගේ හා රටේ විනාශයට හේතු වන්නේය. ස්ථානය පාළුවීම පෙන්නුම් කෙරෙන අතර ශිල්පියාගේ ආයුෂ ද අඩු වන්නේය. එසේ හෙයින් යාගයක් පවත්වන්නා සේ මහත් කැපවීමෙන් යුතුව පූජාවක් වශයෙන් ප්‍රතිමාවක් කරවන්නා ද අවබෝධයෙන් සිටීම අවශ්‍ය වන්නේ ය.)
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති සම්මානිත මහාචාර්ය ජයසේන කෝටටගොඩ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව නිවැරදි මානක ක්‍රමවලට බුදු පිළිම නෙළීම පිළිබඳව පොතක් ලියා පළ කිරීමට තීරණය කළේ, ශ්‍රී ලාංකේය ලලිත කලා නිසි පරිදි පවත්වා ගෙන යෑම සහ එය ජනතාව අතර ප්‍රචලිත කිරීම 1952 වර්ෂයේ කලා මණ්ඩලය පිහිටුවීමේදී පනතකින් ස්ථාපිත කර ඇති නිසාය. විවිධ සංවිධාන, ආයතන සහ විහාරස්ථාන විසින් බුදු පිළිම ඉදි කිරීමේදී එය නිවැරදි ආකාරයට ඉදි කරවා ගැනීම සඳහා මින් ඉදිරියට කටයුතු කරනු ඇතැයි සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ අපේක්ෂා කරයි. ඇතැම් විට බුදුපිළිම අඹන නිර්මාණ ශිල්පීන් මෙවැනි මානක ක්‍රම පිළිබඳව නොදන්නවා විය හැකිය. ඔවුන් සිය වැරදි නිවැරදි කරගෙන දැනුම්වත් වී බුදුපිළිම නෙළීමෙන් රටේ නායකයන්ටත් රටවැසියන්ටත් යහපතක් උදාවන බව මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේය.