අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමට දරන උත්සහය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ පාලක, සිරිල් ගාමිණි පියතුමා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි හා නීතිපතිවරයා ඇතුළු 07 දෙනෙකි.
පාස්කූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරිම සඳහා සුම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ සාකච්ඡාව සම්බන්ධයෙන් සුරේෂ් සලෙයි මහතා පසුගිය 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
සිරිල් ගාමිණි පියතුමා පෙන්වා දෙන්නේ, ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස තමාට දන්වා ඇති බවයි.
එහිදි ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු තමාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව සිරිල් ගාමිණි පියතුමා ගොනු කළ පෙත්සමේ සඳහන් ය.
සිය පෙත්සම හෙට දිනයේදී කැඳවීමට දින නියම කරන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු බලධාරින්ට නිකුත් කරන ලෙසත් සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.