සිරිල් ගාමිණී පියතුමා CIDයට නොඑන බව දන්වයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය නොහැකි බව පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

අද පෙරවරු 9.30 ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස උන්වහන්සේට දැනුම්දී තිබිණ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පසුගිය මස 23 වනදා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී සිදු කළ ප්‍රකාශයක් මුල්කරගෙන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කර තිබිණ.

එම පැමිණිල්ල මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේට දැනුම්දී තිබුණේ, 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තුන එක සහ තුන දෙක වගන්ති අනුවත් දණ්ඩ නීති සංග්‍රහයේ තවත් වගන්ති කිහිපයක් අනුවත් විමර්ශනයක් සිදුවන බවයි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔක්තෝම්බර් 28 වනදා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට දැනුම්දී තිබූ අතර ඒ සඳහා උන්වහන්සේ සතියක කාලයක් ඉල්ලා තිබිණ.

ඒ අනුව අද පෙරවරු 9.30 ට නැවත පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ අතර ඊට පිළිතුරු ලෙස නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් යවමින් උන්වහන්සේ දැනුම්දී ඇත්තේ මීට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර ඉදිරි දිනවලදී එය විමසා බැලීමට නියමිත බවයි.

එම නිසා අද දිනයේ පැමිණිය නොහැකි බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

ඊයේ ශ්‍රේෂ්ඨාධිකණයේ ගොනු කළ පෙත්සමෙන් උන්වහන්සේ ඉල්ලා සිටියේ තමන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර එහිදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

පෙත්සම විභාග කර අවසන් කරන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා සිටියහ.

පුවත යවන්න