අසිරිමත් නත්තල අදයි

දෙව්මැදුරු තුළින් නැගුනු සීනු හඬ මධ්‍යයේ අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදාවුණා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දෙමින් මෙවර නත්තල සැමරීමට කිතුනුවන් කටයුතු කළා.

නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ගැබ්ව තිබෙනවා.

මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණා. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනුයි ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුයේ. බාහිරින් ඇති දෙයට වහල් නොවී ඇතුලාන්තයෙන්ම යහගුණ වර්ධනය කර ගැනීම අපගේ ජීවන මාර්ගය විය යුතු බවයි උන්වහන්සේ සිය දේශනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ. කිතුණු බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

පුවත යවන්න