“ජනාධිපති තාත්තා” කියෙව්වා නම් හිටපු ජනපති ගැන තේරෙනවා / රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

කශේරුකවක් තිබේ නම් කශේරුකාවක් ඇති බව පෙන්විය යුතු බවත් ඒ සදහා බෝක්කු වල පාලන් වල කතා නොකොට ආණ්ඩුවේ කන්ඩායම් රැස්වේම් වල කෙලින් කතා කලයුතු බවත් කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මෙම අදහස් ප්‍රකාශ කළා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යනු කිසිම ප්‍රතිපත්තියක් නැති අයෙක් බවත් එතුමන්ගේ දියණිය විසින් ලියන ලද ” ජනාධිපති තාත්තා ” කෘතිය කියවූයේනම් එතුමන් ගැන අවබෝධ කරගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඉන්න අයට ඉන්න පුලුවන් යන අයට යන්නත් පුලුවන් හෙයින් ආන්ඩුව තුල සිටම ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ නොකොට සාකච්ඡා මාර්ගයෙන් කෙලින් තීරණයක් ගත යුතු බවද අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ඉදිරි වසර තුනක කාලය ඉතා වැදගත් බවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට වැඩ කරනවා මිසක එක එක්කෙනාගේ පදනම් විරහිත විවේචන, චෝදනා, ප්‍රකාශ වෙනුවෙන් විනාශ කරන්න කාලයක් නොමැති බවත් ඔහු සදහන් කර තිබෙනවා.

විපක්ෂය සන්ධාන සෑදීම පිලිබඳවද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විපක්ෂය කුමන සන්ධාන සෑදුවද විපක්ෂයේ පිරිස පිලිබඳව බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන අති බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එම සන්ධාන හැදෙන්නේ නම් එයට ආශිර්වාද කරන බවත් ය.

එමෙන්ම ආණ්ඩුව සිදුකරන දේවල් වැරදිනම් පදනම් විරහිත චෝදනා නොකට අදාල චෝදනාවට විකල්ප ඉදිරිපත් කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ළිං මැඩියන් සේ නොඉද ලෝකය දියුණු යැයි සම්මත රටවල ආර්ථිකයට සිදුව ඇති දේද විමසිලිමත්ව බලන ලෙසත් එවිට මෙරට තත්ත්වය කෙතරම් හොඳද යන්න වැටහෙනු ඇති බවත් බඩු මිල සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවා.

– මාධ්‍ය ඒකකය

පුවත යවන්න