බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ ජීව අත්බෝම්බයක් සවි කිරීමේ සිද්ධිය සම්බන්ධ ප්රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙම බෝම්බය සවිකිරීම සඳහා අදාළ සැකකරු රුපියල් පනස්දහසක් මුදලක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවන්නේ පසුගිය 11 වනදායි. මෙම බෝම්බය දේවස්ථානයේ සුරුවමක් තුළ සුක්ෂම ලෙස සවිකර තිබු අතර බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි මෙය සොයා ගැණුනේ. පොලිස් විශේෂ කාර්ය බලකාය එම ජීව අත්බෝම්බය එදිනම නිෂ්ක්රීය කළ අතර ඉන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කෙරුණේ. කෙසේ වෙතත් සිදුකෙරුණු පොලිස් පරීක්ෂණ පිළිබඳව තමන් සෑහීමකට පත්නොවන බව අවස්ථා කීපයකදීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් පළ කළා.
බෝම්බයට සම්බන්ධ ප්රධාන සැකකරු පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා වන්නේ එවන් පසුබිමක් යටතේයි.
56 හැවිරිදි ප්රධාන සැකකරු ලෙස සැලකෙන මෙම පුද්ගලයා, රාජ්ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඇඹිලිපිටිය පනාමුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මෙම සැකකරුට බෝම්බය සවි කිරීම සඳහා රුපියල් පනස්දහසක මුදලක් වෙනත් බාහිර පුද්ගලයකු ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.