විදේශයන්ට විකුණන වත්කම් යළි ගන්නවා / ජවිපෙ ආණ්ඩුවක් ගැන අනුර කුමාර කියයි

රාජ්‍ය වත්කම් විකිණීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි වෘත්තීය සමිති නිහඬව නොසිටින බවට සහතික වෙමින් , ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ කොටස් ඉන්දියාවට ලබාදීමට අත්සන් කර ඇති ගිවිසුම් යළි හැරවීමට ඉදිරිපත් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කෙරවලපිටිය බලාගාරයේ කොටස් එක්සත් ජනපද සමාගමකට පැවරීම ද ,ජනතාවාදී ආණ්ඩුවක් මගින් යළි හරවන බවයි ඔහු කියා සිටියේ.
රාජ්‍ය වත්කම් විකුණන ආණ්ඩු එළවා දමා රාජ්‍ය අනුග්‍රහය යටතේ රාජ්‍ය සම්පත් කළමනාකරණය කළ හැකි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාව සමග පෙළගැසෙන බවද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ කොටස් ඉන්දියාවට විකිණීමට එරෙහිව මැයෙන් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට එක්වෙමින් ඔහු කියා සිටියේ කොළඹ නගරයේ වාණිජ ඉඩම් සහ ගොඩනැගිලි විදේශ සමාගම්වලට විකිණීමට සැලසුම් කර ඇති බවයි.
කොළඹ වරායට අයත් ඉඩම් අක්කර 13ක් චීන සමාගමකට විකිණීමට රජය සැලසුම් කර ඇති අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට විකුණු බවත් ,ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීමේ ගිවිසුම ජනවාරි මාසයේදී අත්සන් කළ බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළා.

පුවත යවන්න