විදෙස් ශ්‍රමිකයන් එවන ඩොලර්වලට දෙන රුපියල් 10 දීමනාව අප්‍රේල් තෙක්

“විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ විදේශ ප්‍රේෂණ සඳහා ඇමරිකන් ඩොලරයක් සඳහා වූ අමතර දිරි දීමනාව 2022 අප්‍රේල් මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මහ බැංකු පරිශ්‍රයේ අද (20) පැවති “මුදල් ප්‍රතිපත්ති විවරණය ” මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළේ ය.

එමෙන්ම 2022 පෙබරවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ රුපියල් ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කිරීමේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගෙන් අයකරනු ලබන ගනුදෙනු පිරිවැය එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 1,000 බැගින් ප්‍රතිපූරණය කිරීම සහ විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ ව්‍යවහාර මුදල් සහ රුපියල් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතික හඳුන්වා දීමටද මහ බැංකුව තීරණය කර ඇත.

මීටඅමතරව ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සඳහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට අනිවාර්යය කිරීමටද මහ බැංකුව තීරණය කර ඇත.

ඉන්ධන මිලදී ගැනීම් සඳහා වන අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යනය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීමටද මහ බැංකුව තීරණය කර ඇත.

පුවත යවන්න