වරාය නගර සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කළොත් දඬුවම්

පසුගිය දින කිහිපය තුළ කොළඹ වරාය නගරය නැරඹීමට විශාල පිරිසක් පැමිණි අතර එම සාගර කලාපය ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැර කර තිබෙනු දක්නට ලැබුණා.

යම්කිසි අයෙකු සාගර කලාපයට අපද්‍රව්‍යය බැහැර කිරීමක් කළහොත් එය සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය අවධාරණය කළේ සාගර කලාපයට අපද්‍රව්‍යය බැහැර කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මෑතකදී සිදුවූ නෞකා අනතුරු දෙක මෙන්ම දිනපතා අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුදට එක් කෙරෙන අතර දැනටමත් අප සාගර පරිසරය සහ වෙරළ තීරය බොහෝ දුරට අපවිත්‍ර වී ඇති බවත් තවදුරටත් එය අපවිත්‍ර කිරීමට කිසිසේත් ඉඩදිය නොහැකි බවත් ඇය කියාසිටියා.

සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම වළැක්වීම සඳහා පොර්ට් සිටි ආයතනය සමග සම්බන්ධ වී දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සූදානම් වනවා.

කොළඹ වරාය නගරය නැරඹීමට යාමේදී හෝ අනෙකුත් අවස්ථාවලදී සාගර පරිසරයට අපද්‍රව්‍යය බැහැර කිරීමෙන් වළකින ලෙස දර්ශනී ලහඳපුර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පුවත යවන්න