සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඉදිරියේදී අවදානමක්

සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම ඉදිරියේ දී වඩාත් හානිකර විය හැකි බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන් විජය ලාල් ද සිල්වා මහතා පවසනවා.
ගාල්ලේ දී පැවැති ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ , එය කිසිසේත්ම සාර්ථක විසදුමක් නොවන බවයි.

‘‘ආර්ථික විද්‍යාවේදී සැලැස්මකින් තොරව මුදල් අච්චු ගැසීම හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව බඩයාම අතීසාරයට හරවනවා වගේ කියලා. සමහර ආණ්ඩු මැතිවරණ ඔන්න මෙන්න තියල දේශපාලන උපක්‍රමයක් හැටියට මුදල් අච්චු ගැසීම කරන බව ඇත්ත. හැබැයි වර්තමාන ආණ්ඩුව බලයට ඇවිත් මුල් වකවානුව තුළම විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහල තියෙනවා. දැනට දැනගන්නට තිබෙන සංඛ්‍යා ලේඛන අනුව ගිය වසරේ අඟවන විට රුපියල් ට්‍රිලියන එකයි දශම එකක අලුතින් මුදල් නෝට්ටු අච්චු ගසා ඇති බවයි දැනගන්නට තියෙන්නේ. මේ තුළ විශේෂයෙන්ම රටේ ආර්ථිකයේදී ඉල්ලුම සහ සැපයුම පිළිබඳව සොයා බලන කොට ක්‍රමවත් සැලැස්මකින් තොරව මෙවැනි මුදල් අච්චු ගැසීම තුළින් රටේ උද්ධමනය තවත් වැඩි වෙනවා මිසක රටේ ආර්ථිකයට සහනයක් ලැබේ කියා විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ.

සුපුරුදු කතාවක් තියෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ ඔය වගේ මුදල් අච්චු ගැසීම නිසා සිගරට් පැකට්ටුවක් මිලදී ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙනියන්න සිද්ධ වුණා කියලා. අපේ රටේ ඉදිරියේදී භාණ්ඩ හිඟය තුළ මේ මුදල් අච්චු ගැසීමේදී වැඩිවන මිලට අනුව බලනවිට විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒක මම හිතන්නේ ආර්ථික ගැටලුවලින් පීඩාවට පත් ජනතාවට ලැබෙන සහනයක් නම් නොවේ කියන එක මගේ පෞද්ගලික විශ්වාසයයි.

වාර තුනක් අඛණ්ඩව මහ ඇමතිවරයා හැටියටත්, පසුව නැගෙනහිර ආණ්ඩුකාරවරයා හැටියට පළාත් සභා ක්ෂේත්‍රයේ තිබෙන සියලු පදවි තනතුරු දරපු කෙනෙක් මම. ඒ නිසා ඒ විෂය ක්ෂේත්‍රය පිළිබඳ සියලු දේ නූනත් බොහෝ කරුණු පිළිබඳ යම් අවබෝධයක්, දැනුමක් මට තියෙන නිසා තමයි මම අයවැය විවාදයේදී ඒ වැය ශීර්ෂය පිළිබඳව කතා කරන්න යම් ඉඩ ප්‍රස්ථාවක් ඉල්ලුවේ. නමුත් අවසාන මොහෙතේ ඒ ඉඩ ප්‍රස්ථාව අහිමි වෙලා ගියා. ඊට පසුව මා ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත්, කම්කරු අමාත්‍ය්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත් කතා කරන්න අවස්ථාවක් ඉල්ලුවත් ඒ අවස්ථා දෙකද අවසාන මොහෙතේ අහිමි වුණා.

කෝඩිඩ් වසංගතය ලෝකයේ හැමරටකටම බලපෑවා. හැබැයි හැම රටක්ම අපි තරම් ආර්ථිකයේ මේ තරම් පහත් මට්ටමට ඇදවැටිල නැහැ. එහෙමනම් අපේ රටේ භාණ්ඩ හිඟය, පොහොර හිඟය, පෝලිම් ඇතිවීම ආදී දහසකුත් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. අනෙක් රටවල් මුහුණ නොදෙන යම් හෝ වරදක් නිසා අපි නිහතමානීව අපට වැරදුණු තැන දැන්වත් සොයා ගත යුතුයි. ඊට පිළියම් අපි දැන්වත් සකස් කර ගන්න ඕනෑ. එහෙම නූනොත් ඉදිරි අනාගතයේ මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්, උත්සන්න වෙන්න පුළුවන්’’ යයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

යූ .එම්. තිලකරත්න – ලබුදූව
රවීන්ද්‍ර චන්ද්‍රලාල් – හිනිදුම

පුවත යවන්න