ප්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර තොග වෙනුවට නව පොහොර තොගයක් මෙරටට ලබාගැනීම සඳහා චීනයේ Qingdao Seawin Biotech Company (QSBC) of China සමාගමේ කාබනික පොහොර නියැදියක් අපේක්ෂාවෙන් පසුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අදාළ පොහොර ගණුදෙනුවේදී ලංකාව කෙරෙහි එම සමාගම දැක්වූ ආක්‍රමණශීලී තත්ත්වය නොසලකා එම පොහොර තොග ලබාගන්නා බවද දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් නව කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට එවීමට පෙර ශ්‍රී ලංකාවේදී තත්ත්ව සහතිකයක් ලබා ගැනීමට නියමිතයි.
අලුතින් එවනු ලබන පොහොරවල සාම්පල හානිකර නම් එයද ප්‍රතික්ෂේප කිරීමට නොපැකිලෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
අදාළ සමාගම අමෙරිකාව, කැනඩාව සහ යුරෝපා සංගමයට කාබනික පොහොර සපයන ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පොහොර සමාගමක් බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.
මෙම ගණුදෙනුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ අදාළ සමාගම ගණුදෙනුව වෙනුවෙන් ණයවර ලිපි විවෘත කළ මහජන බැංකුව චීනයේ අසාදු ලේඛන ගත කිරීමටද මැදිහත්ව තිබුණා.
කෙසේ වෙතත් එම පොහොර වෙනුවෙන් අදාළ මුදල් ගෙවීමෙන් පසු ගැටළුව සමථයකට පත්ව ඇති අතර එම සමාගම විසින් යළි ලංකාවට පොහොර ලබාදීමට නියමිතයි.