බුද්ධි අංශ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය පුවත් ප්‍රචාරය වෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
කල්මුණේ පොලිස්වසමේදී තමිල් අරසු දේශපාලන පක්ෂයේ තරුණ සංවිධානයේ සහකාර ලේකම්වරයෙකු සුදු වෑන් රථයකින් පැමිණ බුද්ධි අංශයේ පිරිසක් පැහැරගැනීමට උත්සාහ කළ බවට ට්විටර් ගිණුමක දක්වා තිබූ තොරතුර සාවද්‍ය බවයි පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් කල්මුණේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ ඥානමූර්ති නිදර්ශන් නමැති පුද්ගලයාට පසුගිය 17 වනදා කිසියම් පුද්ගලයින් පිරිසක් පහරදීමට තැත් කර තර්ජනය කළ බවට කල්මුණේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබුණා. එම පැමිණිල්ලට අනුව පැමිණිලිකරු සහ අදාළ වෑන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා වෑන් රථය ද සමග කල්මුණේ පොලිස් ස්ථානයට කැදවා තිබෙනවා. මෙම වෑන් රථයේ පැමිණි පුද්ගලයින් දෙදෙනා මරදමුණ දෙක ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් යතුරුපැදි අමතරකොටස් අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව හෙළිව තිබෙනවා. ඔවුන් කිසිදු ආකාරයකින් බුද්ධි සේවයකට සම්බන්ධ නොවන බවයි පොලිසිය සදහන් කළේ. මහජනතාව නොමග යැවීමේ අරමුණෙන් සමාජ මාධ්‍ය මගින් මෙම තොරතුරු පළකර ඇති බව පොලිසිය පැවසුවා.