මෛත්‍රීට නඩු දමන්න / කතෝලික සභාව නීතිපතිගෙන් ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විධිමත්ව නඩුවක් ගොනු කරන ලෙස කතෝලික සභාව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකරනවා.

මේ පිළිබඳ අදහස් දක්වන  අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ, ගරු ජුඩ් ක්‍රිශාන්ත පියතුමා,

“මේ නඩුවේ ප්‍රධාන චුදිතයින් බවට පත්වෙන්න ඕනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන මහත්මයා. දැන් මේ නඩුව ගොනු කිරීමේ දී මේ දෙන්නාවම පැහැර හැරලා ඊට පස්සේ ඉන්න පුජිත් ජයසුන්දර ට සහ හේමසිරි ප්‍රනාන්දුට තමයි නඩු පවරන්නේ. මේ පිළිබඳව හිටපු නීතිපති දප්පුල මහත්මයා පිළිබඳව අපිට බැරෑරුම් සැකයක් පවතිනවා. මේ නඩුව පැවරුවේ හිටපු නීතිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව බේරාගැනීමේ, ආරක්ෂා කරගැනීමේ අදහසින්ද කියලා අපිට සැකයක් මතුවෙනවා. සැර බාල කරලා තමයි මේ නඩුව ඉදිරියට ගෙන ගියේ. ඒක නිසා ජනාධිපතිතුමාගෙන් වත්මන් නීතිපතිතුමාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා නැවත ප්‍රබල නඩුවක් දාන්න නිලන්ත ජයවර්ධන මහත්මයා ප්‍රධාන චූදිතයා විදියටත්, දෙවැනි චූදිතයා විදියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත්. ඒ වගේම නීතියේ ප්‍රතිපාදන තියෙනවා නම් හේමසිරි හා පුජිත් දෙන්නාවත් ඊළඟ චූදිතයින් ලෙස නම් කරලා ප්‍රබල ආකාරයෙන් නඩුවක් ගොනු කරලා ඉදිරියට ගෙනි යන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

පුවත යවන්න