ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළා.
මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ රටතුළ විදෙස් සංචිත ඉතා අඩුවී ඇති බවත් එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ආනයනය සඳහා යොදාගැනීමට තීරණය කළ බවයි.
“දැන් ඇතිවෙලා තිබෙන තත්ත්වය අනුව ණය ගෙවීම අභියෝගයක් මෙන්ම කළ නොහැකි කාර්යයක් බවට පත්වෙලා ඇති අවස්ථාවක් මේක. එමගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඉන් අපි අදහස් කරන්නේ දීර්ඝ කාලීන ණය ගෙවීම් පැහැරහැරීමක් සිදුවීම වළක්වා ගැනීම.”
මේ වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 1.93ක් දක්වා පහළ ගොස් ඇති අතර 2022 දී විදෙස් ණය සඳහා ඩොලර් බිලියන 4ක් ගෙවීමට නියමිතව තිබෙනවා.
ඊට එලඹෙන ජූලි මාසයේ කල්පිරෙන අමරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වායත්ථ බැඳුම්කරයක් ද අයත්.
“මේ අපි කළේ කළ හැකි හොඳම සහ අවශ්‍යම දේ. අපි කවදාවත් ණය ගෙවීම පැහැරහැර ඇති ජාතියක් නොවෙයි.”
“මෙය තාවකාලික පියවරක්. අපි ණයහිමියන් සමග එකඟතාවයකට එලඹෙන තුරු. ඒ සඳහා අයි එම් එෆ් සහාය ලැබෙයි.”
ජේ පී මෝර්ගන් මූල්‍ය විශ්ලේෂකයින්ට අනුව 2022 දී ශ්‍රී ලංකාව ණය ගෙවීම සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 7ක් ගෙවිය යුතුය. එසේම ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3කි.