මෙරට තුල දේශපාලන ක්රියාකාරීත්වයේ සාධනීය වෙනසක් උදෙසා වන ජනතා විරෝධයන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ.
නිර්පාක්ෂිකව ක්‍රියාත්මක බොහෝ අරගල තුලින් දේශපාලනඥයන් වගකීම් සහගත හා රටට වගකියන පුද්ගලයන් බවට පත් කිරීම සඳහා වූ උත්සාහය කැපී පෙනේ.
එවන් තත්ත්වයන් තුල දී ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයන් තවදුරටත් සම්ප්‍රදායික හා ප්‍රතික්ෂේප වූ දේශපාලන භාවිතයේ නිර්ලජ්ජිතව ක්‍රියාත්මකවීම කණගාටුදායක තත්ත්වයකි.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව ප්‍රකාශ කරමින් ජනතා විරෝධයට සහාය දැක්වූ ඇතැම් දේශපාලනඥයන් දින කිහිපයකින් යළි කටුසු දේශපාලනයේ නිරතවීම ජුගුප්සාජනක තත්ත්වයකි.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකු ඊයේ ආණ්ඩුව හා එක්වූ අතර රාජ්‍ය අමාත්‍ය ධූරයකින්ද සන්තර්පනය කර තිබේ.
මෙසේ එක් වී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන්ය. ඔහු ආණ්ඩුව හා එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ලෙසය.
ඔහු මීට දින 11කට පෙර ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසට සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියේ සටහනක් යොදා තිබිණි.
එම ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහනෙහි දැක්වෙන්නේ, “ජනපති තුමනි, (ඔබේ සේවයට ස්තුතියි) හැකි ඉක්මනින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉල්ලා අස්වෙන දවස දන්වන්න,” යනුවෙනි.