වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ තමා නොවන බවත් එය රජයේ සාමූහික වගකීමක් බවත්, මහ බැංකුවට සිදුවූයේ රජයේ තීරණ සමඟ කටයුතු කිරීම බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවේ දී IMF යාම සම්බන්ධයෙන් තම ස්ථාවරය පිළිබඳ යොමු කළ ප්රශ්නයකට ප්රතිචාර දක්වමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත.
“මම මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙලා යන්න පෙර මාර්තු මාසයේ 15 වැනිදා ජනාධිපතිතුමා IMF එකේ නියෝජිතයන් මුණ ගැසුණු අවස්ථාවේ දී මමත් එතන හිටියා. ජනාධිපතිතුමාගේ ප්රකාශයෙත් ඒක තියෙනවා මම දැක්කා. මම මෙතන නියෝජනය කළේ මගේ පෞද්ගලික මතයක් නෙවෙයි. මම මහ බැංකු අධිපති විදිහට රජය වෙනුවෙන් මගේ වගකීම ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බැහැ මේ මගේ තනි මතයට වුණ දෙයක් කියලා. මේකට රජය සාමූහිකව වගකිව යුතුයි. ඒක හැමෝම හොඳටම මතක තියාගන්න ඔ්නේ”