මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්නට එල්ලවූ ප්‍රහාරය වෘත්තීය ජනමාධ්‍යවේදීන් හෙළාදකී

මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට ගාළුමුවදොර විරෝධතා භූමියේ දී එල්ලවූ ප්‍රහාරය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් හෙළාදැක තිබෙනවා.
මේ ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනයයි.

මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට සිදුකළ මැර ප්‍රහාරය දැඩිව හෙළා දකිමු.

 ගාළු මුවදොර අරගල භූමියේදී සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට 2022-05-04 දින සිදුකළ මැර ප්‍රහාරය දැඩිව හෙළා දකිමු.

අරගලය සම්බන්ධයෙන් දිනපතා සිරස මාණ්ඩලික වාර්තාකරු ලෙස වාර්තාකරණයේ යෙදී සිටි වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමට අරගලයේ නියුතුවූවන්ට වුවමනාවක් ඇතැයි අපි නොසිතමු. කෙසේ වුවද මෙවැනි මැර ප්‍රහාර එල්ල කරමින් මාධ්‍යවේදීන් බිය වැද්දීම රාජපක්ෂ පාලන සමයන්හිදී දක්නට ලැබුණු සහ ලැබෙන සුවිශේෂී කරුණකි.

රටතුළ අර්බුදයන් රැසක් මතුව ඇති මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් එම අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධ වාර්තාකරණයේ නියැලෙමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මාධ්‍ය නිදහස පවත්වාගෙනයෑම සඳහා මාධ්‍යවේදීන්ට නිදහසේ තම රාජකාරි කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ කඩ සපයාදීම ආණ්ඩුවේ වගකීම වේ.

පසුගිය කාලයේ මාධ්‍යයට එරෙහිව එල්ල වූ මැර ප්‍රහාර හමුවේ රජය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සපයාදීමට අපොහොසත්වී ඇති බව අප සංගමයේ අදහසයි. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා ගත යුතුවේ. ආණ්ඩුව මෙන්ම ජනමාධ්‍ය සමාජයද මේ පිළිබඳව දැඩි සැලකිල්ල යොමුකළ යුතු බව අප දැඩිව ප්‍රකාශ කරමු.

මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට පහරදුන් මැරයන් වහා අත් අඩංගුවට ගෙන නීතිය හමුවට යොමුකරවන ලෙස අපි ආණ්ඩුවට බලකර කියා සිටිමු.

පුවත යවන්න