හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ජූලි මස 25 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එම පැමිණිල්ල අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.
තම සේවාදායකයාට සිතාසි ලැබී තිබෙන බවත් ඔහු මීළඟ දින පෙනීසිටින බවත් නීතිඥවරයා දැනුම් දුන්නේය.
අනතුරුව පැමිණිල්ල ජුලි මස 25 වනදා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින තෙක් අජිත් නිවාඩ්කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස නියෝග කළේය.
එමෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළව මෙම වසරේ ජනවාරි මස 18 වනදා ගෙවීම් කරන ලද පාර්ශවයන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීම් කරන ලද පාර්ශවයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළේය.
හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
2006 වසරේ ජුලි මස පළ වන දා සිට 2015 වසරේ ජනවාරි මස 8 වනදා සිට 2015 වසරේ ජනවාරි මස 08 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අමාත්‍ය මණ්ඩල හෝ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමෙරිකානු එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ශ්‍රී ලංකා ජනරජයේ මුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අජිත් නිවාඩ් කබ්රාල් සාපරාධී වරදක් සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වුණි.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2022 වසරේ ජනවාරි මස 18 වනදා කල් පිරිය යුතු ස්වෛරී බැදූම්කර තුළින් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 500ක පාඩුවක් සිදුකිරීම මෙම පැමිණිල්ල තුළින් එල්ල කර තිබූ තවත් චෝදනාවක් වුණි.
ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සමීප ඥාතීන් එහි තනතුරු සඳහා පත්කිරීම තුළින් රහස්‍ය තොරතුරු පිටකිරීම තුළින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතුවලින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 10.04ක පාඩුවක් සිදුකරන ලදැයි අදාළ පැමිණිල්ල තුළින් තවත් චෝදනාවක් එල්ල කර තිබේ.