නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය, ජාතික පද්ධතියට එක් කිරීම සඳහා දින 75ක පමණ කාලයක් ගත වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් පවසනවා.
එහි ජනන යන්ත්‍රයක අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ දිනවල සිදු කෙරෙන බැවින් තාවකාලිකව සක්‍රීය කටයුතු නවතා දමා තිබෙනවා.
එම පද්ධතියේ යථා පැවැත්මට අත්‍යවශ්‍ය කාරණයක් වන අතර පසුගිය කාලය තුළ ජල විදුලි උත්පාදනය පහළ යෑම සහ තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නොවීම යන කාරණ නිසා ලක්විජය බලාගාරය පද්ධතියෙන් ඉවත් කිරීමට නොහැකි වීම මත නියමිත කාලයේ දී එම නඩත්තු කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බව ද ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළා.
ලක්විජය ගල් අඟුරු බලාගාරය මෙරට විශාලතම විදුලි බලාගාරයයි.
මෙම බලාගාරය 1995 දී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් යෝජනා කරන ලද අතර 2007 දී ඉදිකිරීම් ආරම්භ කෙරුණා.
එය අදියර 3කින් ඉදිකර 2014 සැප්තැම්බර් වන විට සම්පූර්ණ කරන ලද අතර, සම්පූර්ණ විදුලි උත්පාදනය මෙගාවොට් 900ක්.
මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුව මගින් මූල්‍යාධාර සපයනු ලැබුවා.
කෙසේ වෙතත් චීන ආධාර යටතේ ඉදිකෙරුණු බලාගාරය ආර්ථික, පාරිසරික හා මෙහෙයුම් වශයෙන් දෝෂ රැසක් ඇති බව පසුගිය කාලය පුරාම විවේචනයට ලක් වුණා.
ආරම්භයේ සිටම, බලාගාරය නිතර නිතර බිඳවැටුණේ මෙරට අඛණ්ඩ විදුලි සැපයුම අවිනිශ්චිත කරමින්.
චයිනා මැෂිනරි ඇන්ඩ් ඉංජිනියරින් කෝපරේෂන් (සීඑම්ඊසී) විසින් ඉදිකරන ලද බලාගාරය 20 වතාවකට වඩා බිඳවැටීම්වලට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවලදී පෞද්ගලික බලශක්ති සැපයුම්කරුවන්ගෙන් ඉහළ මිලකට විදුලිය මිල දී ගැනීමට සිදුවීම හේතුවෙන් සැලකිය යුතු මූල්‍ය පාඩුවක් දැරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවුණා.