හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඔක්තෝබර් 26 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ. ඒ අනුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් 26 වනදා යළි කැදවීමට නියමිතයි. 2006, 2015 කාලය තුළ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මහ බැංකුවට අයත් ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක මුදලක් මෙරට කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීමට යැයි සදහන් කරමින් ඇමෙරිකා ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම ඔහුට එරෙහි චෝදනාවයි. රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා මත අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබුණා.