අරගලයේ 21කට විදෙස් ගමන් තහනම්

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ප්‍රධාන ආර්ථික මරමස්ථානවලට පිවිසෙන දොරටු අවහිර කරමින් මහජන පීඩාවන් සිදු කළ බව කියන අරගලකරුවන් 21 දෙනකුගේ විදෙස් ගමන් වහාම තහනම් කිරීමට අධිකරණය ඊයේ (28 වැනිදා) පස්වරුවේ තීන්දු කළේය. අරගලකරුවන් ලෙස පෙනී සිටි අදාළ සැකකරුවන් විදේශ ගතවීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරමින් කොටුව පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ එම නියෝගය කළේය.

මෙම පුද්ගලයන්ගේ විදෙස් ගමන් තහනම් කර තිබෙන බවට ආගමන විගමන පාලකවරයාට, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල් වෙත වහාම දන්වා යවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ වීගොඩවත්තේ කාශ්‍යප හිමි, තිසර නුවන්ත අනුරාධ, රුමේෂ් ඉන්දික, එල්.එන්.ඩී. පෙරේරා, ආර්.ඒ. රාජපක්ෂ, සිරිල් මනතුංග, ඉසුරු වර්ණකුල, රොෂාන් අලි දානිස් අලි, චන්දිමාල් ගමගේ, ඩී.ආර්.ඩී. බෙන්තරආරච්චි, එම්. කාසිම්, එන්. එම්. තවුෆික්, නිලන්ත සමිත් ප්‍රනාන්දු, බන්දුල ප්‍රභාත්, සමීර මධුසංක සිරිවර්ධන, එච්. එම්. ටී. ජී. මැණිකා, එම්.ආර්. චාරක ගිම්හාන්, චතුරිකා සරෝජිනී, ජේ. නිලන්ත, එම්. නිශාන්ති සහ සුදත් ලක්ෂ්මන් යන 21 දෙනාටය.

ඉකුත් 13 වැනිදා අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩාවැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වූ රොෂාන් අලී දානිෂ් අලි සහ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ යන දෙදෙනාගේ විදෙස් ගමන් තනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව පොලිසිය අත්අඩංගුවට ගත් දානිෂ් අලි, ලබන මස 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවද අවලංගු කළේය.

පොලිසිය පවරා තිබෙන නඩු කටයුත්තකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වරෙන්තුවක්ද ඊයේ නිකුත් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති විරෝධයකදී එහි දේපොළවලට හානිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා ලබන මස 9වනදා තෙක් රිමාන්ඩ් භාරයට තබන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

මේ අතර පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසල පසුගිය (13 වැනිදා) පැවති විරෝධතාව කලහකාරී තත්ත්වයක් කරා මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පැතුම් කර්නර් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (28 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත් වන්නැයි බලකරමින් පසුගිය 13 වැනිදා පොල්දූව මංසන්ධිය අසල විරෝධතාව පැවති අතරතුර එහි රැඳී සිටිමින් විශාල පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමේ උත්සාහයක මොහු නිරතව සිට ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

මෙදින විරෝධතාකරුවන් පළමු ආරක්ෂක වැට බිඳ හෙළමින් දෙවැනි ආරක්ෂක වැටෙහි රාජකාරී කළ යුද හමුදාවේ ඇතුළු ආරක්ෂක අංශ සමගින් ගැටුම්කාරී තත්ත්වයකට යාමටද උත්සහා දරා තිබිණි.

එහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණු අතර පොලිසියේ හා යුද හමුදාවේ 24 දෙනෙකු එහිදී පහර කෑමටද ලක්විය. එමෙන්ම යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දී ඔවුන් සතු ගිනි අවි දෙකක්ද විරෝධතාකරුවන් පැහැරගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පැතුම් කර්නර් නමැත්තා පසුගිය 18 වැනිදා අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබුණත් එදින එහි පෙනී නොසිටි ඔහු ඊයේ අපරාධ කොට්ඨාසය වෙත බාරවිය.

මේ අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව එම කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු පැවසීය.

යුධ හමුදා වෛද්‍ය බළකායේ ලුතිනන්වරයකුව සිට ඉන් ඉවත් වී එංගලන්තයට ගොස් සිටි මොහු එහි සිට අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ අරගලයක් සඳහා තරුණ ප්‍රජාව උසිගන්වා ඇතැයි හෙළිවී තිබේ. ගෝල්ෆේස් අරගලය ඇරැඹීමෙන් පසු මෙරටට පැමිණි පැතුම් කර්නර් අරගලභූමියෙන් එළවා දැමීමට එහි සිටි පිරිසක් කටයුතු කළේය.

පුවත යවන්න