අගෝස්තුවේදී ඇඟලුම් කම්හල් වැසී යාමේ අවදානමක්

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය. මේ හේතුවෙන් නියමිත දිනට ජාත්‍යන්තර ඇඟලුම් ඇණවුම් ලබාදීමට නොහැකිවී ඇති බවත් ඒ නිසා කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය සියයට විස්සකින් පමණ අඩු වී ඇති බවත් හෙතෙම කීවේය.

මෙවන් තත්ත්වයක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම්හල් කිහිපයක් සේවක වැටුප් ගෙවීමට නොහැකිව මේ වන විට වැසී ගොස් ඇති අතර, හැකි ඉක්මනින් වෙළෙඳ කලාප තුළ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් අගෝස්තු මාසය අවසානය වන විට ඇණවුම් නොලැබී යාම හේතුවෙන් ඇඟලුම්හල් රැසක් වැසීයාමේ අවධානමක පවතින බවද ඒ මහතා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසූයේ මෙම තත්ත්වය මත ඇඟලුම් කර්මාන්තය බිඳ වැටුණහොත් එහි සෘජු රැකියාවල නිරතවී සිටින ශ්‍රමිකයන් තුන්ලක්ෂ පනස් දහසක් සහ වක්‍ර රැකියාවල නිරත වී සිටින මිලියනයකට අධික පිරිසකට තම අදායම් අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

පුවත යවන්න