සාගිනි අර්බුධයක අවදානමක් ?

“ඊළඟ රැල්ල දුප්පත් අඩු ආදායම් අයට ජීවත් වෙන්න බැර තත්ත්වයකට ඇවිල්ලා පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමකින් කෙරවල වෙන්නේ. කාටවත් බැහැ ඒක කොන්ට්‍රෝල් කරන්න” මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම අනතුරු ඇඟවීම කළේ, පාර්ලිමේන්තු සංකිර්ණයේදී මැති ඇමතිවරුන් පිරිසක් අමතමිනි.

සැබවින්ම දිනෙන් දින අහස උසට යන භාණ්ඩ හා සේවා මිල යෑම හමුවේ නුදුරේදී සාගිනි අරගලයක් ඇතිවෙයිද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

පාන් ගෙඩිය රුපියල් 300ට යයි ද?

1994 වසරේ රුපියල් 3.50කට පාන් රාත්තලක් ලබාදෙන බවට එවක ජනපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග ඡන්ද පොරොන්දුවක් ලබාදී වසර 28කට පසු අද වන විට පාන් රාත්තල රුපියල් 300 ඉක්මවා විකිණෙන තත්ත්වයටක පත්ව ඇත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ මේවන විට පාන් නිශ්පාදනය සඳහා කළු කඩ මිලට තිරිඟු පිටි මිලදී ගැනීමට සිදුව ඇති බවයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ කර්මාන්තය පවත්වාගෙන යෑම අභියෝගයක් වී ඇති බවයි.

“අද වෙකොට රුපියල් 10,000ට 12,000ට තිබ්බ පිටි මිටියක් රුපියල් 20,000 ට 25,000 අතර මිලකට අලෙවි කරනවා. ඉතින් බේකරි හිමියන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මේ මිලට හරි පිටි අරගෙන අද වෙනකොට රුපියල් 300ට පාන් විකුණීම සිද්ධ කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා.” ඔහු කියා සිටියේය.

පාන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක නොවන අතර මේ හේතුවෙන් බේකරි හිමියන්ට ඔවුන්ගේ පිරිවැය අනුව අවශ්‍ය මිලකට පාන් අලෙවි කිරීමේ හැකියාව පවතී.

“බහුතරයක් පාරිභෝගිකයෝ ඉතාමත් ම අමාරුවෙන් ජීවත් වෙන්නේ. තුන් වේලක් කෑව පාරිභෝගිකයෝ දැන් දෙවේලක් කාලා තමා ජීවත් වෙන්නේ. ඉතාමත් මෑතකදී රුපියල් 65ට 80ට තිබ්බ පාන් ගෙඩිය අද රුපියල් 300 දක්වා වැඩි වෙනවා නම් මේ රටේ පාරිභෝගිකයෝ කොහොමද මේ පාන් පරිභෝජනය කරන්නේ. පාන් භාගයයි පරිප්පු දීසියයි කන්න අද රුපියල් 500ක් ඕන වෙලා තියෙනවා. මෙහෙම කරන්නම් රජයක් අවශ්‍ය නැහැ,” පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ අවධාරණය කර සිටියේය.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ, පවතින තත්ත්වයට පිළියම් සෙවීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බවයි.

“අහිසංක මිනිස්සු බඩගින්නේ, පාන් පෙත්තක් අද සිට වෙනවා රුපියල් 30ක්. පාන් රාත්තල රුපියල් 300ට අලෙවි කරන්න ගියොත්. කරුණාකරලා රජය මේකට මැදිහත් වෙන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ කොත්තුවක මිල ද යලිත් වරක් රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.

එළවලු රෝටි හා බිත්තර රොටි ඇතුලු සෙසු අහාර මිල ගනන්ද රුපියල් 10ත් -20ත් අතර අගයකින් ඉහළ ගොස් තිබේ.

පාන් පමණක් නොව මේවන විට වෙළෙඳපොළේ සහල්, කිරිපිටි, තේකොළ, මාළු , සැමන්, මස් වර්ග, කිරි ආහාර සහ බිස්කට් මෙන්ම එළවලු හා පළතුරු වර්ගවල මිල ගණන් ද බොහෝ සෙයින් ඉහළ ගොස් ඇත.

මේ අතර අද (සැප්තැම්බර් 05) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 45කින් හා කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 21කින් පහත දැමීමට පියවර ගන්නා බව, ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්දයක නව මිල රුපියල් 4511ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 1827ලෙසත් කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 848කටත් මිලකර ඇත.

කෙසේවෙතත් ලාෆස් ගෑස්වල මිල සංශෝධනයක් පිළිබඳව මෙතෙක් කිසිඳු දැනුම්දීමක් කර නැත.

අසේල සම්පත් පැවසුවේ, අද සිට ලිට්‍රෝ ගෑස් මිල අඩුවුවද එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබා දීමට හැකියාවක් නොමැති බවයි.

තිරිඟු පිටි මිල ඉහළ යෑම සහ කොළඹ පවතින අඩු මිල ගණන්වලට සෙසු නගර හා ගම්වල ඇති වෙළෙඳ සැල්වල භාණ්ඩ අලෙවි නොකිරීම හමුවේ ග්‍රාමීය ආපනශාලා හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු සඳහන් කළේය.

යාපනයේ පාන් රුපියල් 200

එහෙත් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමී ගුණරත්නම් සැප්තැම්බර් මස 3 දා යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ යාපනයේ පාන් මිල රුපියල් 300 දක්වා කිසිසේත්ම ඉහළ නොදමන බවත් පෙර සේම රුපියල් 200 බැගින් පාන් ගෙඩියක් අලෙවි කරන බවයි.

ඔහු පැවසුවේ පාන් නිපදවීමට අවශ්‍ය තිරිඟු පිටි ප්‍රීමා සමාගම විසින් මිල ඉහළ දමා නොමැති බවත් තවමත් යාපනයේ බේකරි හිමියන්ට එම සමාගමෙන් තිරිඟු පිටි මිටියක් රුපියල් 12500 කට ලබා දෙන බවයි.

උග්‍ර තිරිඟු පිටි හිඟයක්

වෙළෙඳපොළේ මේවන විට තිරිඟු පිටි හිඟයක් ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ද අවධාරණය කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ගිය සතියේදී ඉන්දියාව තිරිඟු පිටි අපනයන නවත්වා ඇති බවයි.

“මේ හේතුවෙන් අපි විශාල අර්බුදයකට පත්වුණා. තුර්කියෙන් හා ඩුබායි රාජ්‍යයෙන් අපි ආනයනය කරලා තියෙන්නේ”

තුර්කියෙන් හා ඩුබායි රාජයෙන් දැනටමත් තිරිඟු පිටි ඇනවුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

සුමානයක් දවස් 10ත් විතර වෙළෙඳපොලෙ තිරිගු පිටි හඟයක් පැවතිය හැකි බවද ඔහු සඳහන් කළේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර අද (සැප්තැම්බර් 5 වැනිදා) පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසුවේ මිල වැඩි කිරීමකින් තොරව සතියක් සිටින ලෙස තම සංගමය සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ, වෙළෙඳපොළේ තිරිඟුපිටි හිඟයට ලබන සතිය වන විට පිළියම් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර සිටි බවයි.

ඇනවුම් කළ තිරිඟු පිටි තොග ලබන සතිය වන විට මෙරටට ලැබීමට ඇතැයි අමාත්‍ය වරයා පැවසූ බවත ඒ අනුව මිල වැඩි කිරීමකින් තොරව සතියක් සිටින ලෙස සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංගමය සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ඔහු කියා සිටියේ රුපියල් 300ට පාන්ගෙඩියක් අලෙවි කරන ලෙස තමන් බේකරිකරුවන්ට දැනුම් නොදුන් බවත්, පවතින තත්ත්වය හමුවේ සුළු පරිමාන බේකරිකරුවන්ට පිටි මුට්ටයක් රුපියල් 21000 ත් 22000ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන්ට මිල වැඩිකිරීමට වැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එන්.කේ ජයවර්ධන සඳහන් කළේය.

දුරකථන ඇමතුම්, අන්තර් ජාල සහ රූපවාහිනී ගාස්තුත් ඉහළට

අද (සැප්තැම්බර් 5 වැනි දා) සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු 20% කින් ඉහළ දැමීමට දුරකතන සමාගම් පියවර ගෙන තිබේ.

ඒ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.

ඩොලරයේ අගය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් පිරිවැය ඉහළ යාම මීට හේතුව බව අදාළ සමාගම් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මීට අමතරව පේ ටීවී හේවත් මුදල් ගෙවා නරඹන, රැහැන් මගින් හා සැටලයිට් රූපවාහිනි සේවා ගාස්තුව ද 25% කින් ඉහළ නැංවෙනු ඇති.

සියලු විදුලි සංදේශ සේවාවන් හා පේ ටීවි සේවාවන් සඳහා වන වැට් බදු ප්‍රතිශතය සැප්තැම්බර් 5 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා සියයට 3කින් ඉහළ නංවා ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.

සියලු විදුලි සංදේශ සේවාවන් හා පේ ටීවි සේවාවන්

දුම්වැටි මිලත් ඉහළට

මේ අතර දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කළේ, වැට් බද්ද 12% සිට 15% දක්වා ඉහළ යාමත් සමග දුම්වැටි මිල ඉහළ දැමූ බවයි.

ඒ අනුව දුම්වැටියක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3 කින්, 5 කින්, 10 කින් සහ 15 කිනි.

වැට් බදු ඉහළ දැමීමට සාපෙක්ෂව වෙළෙඳපොලේ මත්පැන් මිල ගණ්න ද ඉහළ නංවා ඇත.

මේ අතර නීති විරෝධි මධ්‍යසාර නිෂ්පාදනයෙහි ශීඝ්‍ර වැඩිවීමක් ඇතැයි දුම්කොළ හා මධ්‍යාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසුවේ පසුගිය මාස 08 තුළ නිතිවිරෝධී මධ්‍යසාර නිෂ්පාදනය 40%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

වෛද්‍ය සමාධි රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නීති විරෝධි මධ්‍යසාර වැටලීම සඳහා ඇති ආයතන වෙත නිසි පහසුකම් ලබා දී නොමැති බවයි.

මහ බැංකු අධිපතිගේ අනතුරු ඇඟවීම

දුප්පත් අඩු ආදායම් අය ජීවත් වීමට නොහැකිව පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමෙන් කෙළවර වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මැති ඇමතිවරුන් පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ රටේ උද්ධමනය පාලනය කිරීමත් උද්ධමනයට සරිලන ආකාරයට ආදායමක් ලබා ගැනීමට සැමටම අවස්ථාවක් සලසාදිය යුතු බවත් ය.

“උද්ධමනයේ ප්‍රතිඵලය එන්නේ කාලයක් ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුගත කීරිමට එකඟතාවයකට ඇවිල්ලා IMF එකත් එක්ක යම්කිසි ආකාරය වැඩපිළිවෙළකට ගිහිල්ලා. යම්කිසි ආකාරයකට විදේශ විනිමය තාවකාලිකව හෝ අවුරුදු දෙක තුනක් ලබාගෙන ණය ගෙවීම කල් දාලා රටට යම් කිසි කිසි space එකක් ගන්න ඔනේ මේක නැවත back to normal එන්න. ඉදිරි මාස තුන යම්කිසි ආකාරයක පහසුකමක් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි අපි අර import restrictions දාලා තියෙන්නේ. ඒ මාස තුන හතරක කාලය ඉදිරියේදී පහසුවෙන්නේ නැහැ.”

මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ, “ඊට අමතරව ඉකනොමික් ක්‍රන්ටැක් එකට අමතරව අපිට තෙල් මිල වැඩි කරන්න වෙනවා. ඉලෙක්ට්‍රිසිටි ගාස්තු වැඩි කරන්න වෙනවා වතුර බිල වැඩි කරන්න වෙනවා. ඒවා මෙච්චර කල් කරන්නෙ නැතුව තිබිලා දැන් හිර වෙලා නොකර බැරි තත්ත්වෙට ඇවිල්ලා තමයි දැන් කරන්න වෙලා තියෙන්නෙ.”

මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, “මේ වගේ ක්‍රයිසිස් එකකදී මුලින්ම ආරක්ෂා කරන්න ඔනේ Bottom of the Pyramid. (Pyramid එකේ) Bottom එකේ ඉන්න අඩු ආදායම්ලාභී අය. මොකද ඒ මිනිස්සු පාරට බහිනවා ඊළඟට. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වුණාම මිනිස්සු ඕනම දෙයක් කරනවා. එතකොට එහෙම රැල්ලක් තාම අපේ රටේ ඇවිල්ල නෑ. ආවෙත් නෑ. පහුගිය කාලයේ අරගලය කියලා ආවේ වෙන රැල්ලක් ඒක නිකන් වෙන ගවර්නස් ඊෂුස් වලට හා වෙන වෙන (දේශපාලනික) දේවල්වලට ආපු එකක් මිසක් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැරිව ආපු එකක් නෙවෙයි.

“ඒ මැද පන්තියේ යම්කිසි ආකල්පමය වෙනස්වීමක් නිසා පාරට බැස්ස කොටසක් ඒත් ඊළඟ රැල්ල දුප්පත් අඩු ආදායම් අයට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ඇවිත් පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමෙන් කෙලවර වෙන්නේ.”

“කාටවත් බැහැ ඒක කන්ට්‍රොල් කරන්න. ඒ නිසා තමයි වැදගත්ම දේ උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනයට සරිලන විදිහට ආදායමක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම හැමෝටම රටේ ඒක තමයි ඉදිරියට අභියෝගය.”

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් බීබීසීය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනයට හේතුව රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම මෙන්ම රජයට එදිනෙදා වියදම් පියවා ගැනීමට මහබැංකුව විසින් අත්තනෝමතික ලෙස මුදල් විශාල වශයෙන් මුද්‍රණය කිරීම නිසා බවයි.

මෙය මහබැංකු අධිපති මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා පොලිගනුලැබීය.

පුවත යවන්න