සැප්තැම්බර් 3 දා අභ්‍යවකාශගත කිරීමට සූදානම්ව තිබූ සිය නවතම හා සුවිශාල චන්ද්‍ර රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් දැමීමට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය තීරණය කිරීමත් සමග දිගු ප්‍රමාදයකට මුහුණ දී සිටීයි.
මුල දී, එය අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු 29 දා දිනයේ දී ය. පසුව එය සැප්තැම්බර් 3 දා දක්වා කල්දමනු ලැබිණි.
අගෝස්තු 29 දා , රොකට්ටුවේ පියාසැරිය සඳහා ඇති සූදානම සමාලෝචනය කළ නාසා නිලධාරීහු සැළකිය යුතු මට්ටමේ තාක්ෂණික ගැටලු කිසිවක් එහි නොමැති බව නිගමනය කළහ.
‘ස්පේස් ලෝන්ච් සිස්ටම්’ (අභ්‍යවකාශ ගමන් දියත් කිරීමේ පද්ධතිය/SLS) ලෙස හඳුන්වන මෙම දැවැන්ත රොකට්ටුව විසින්, ‘ඔරායන්’ නමින් හැඳින්වෙන කැප්සියුලයක් සඳ වටා චාරිකාවක යැවීමට නියමිතව තිබුණි.
නමුත් යානයේ හයිඩ්රජන් කාන්දුවක් නිසා සෙනසුරාදා එය අභ්‍යාවකාශගත කිරීමේ උත්සාහය නැවතත් නවතා දමන්නට NASA ආයතනයට සිදුවිය.
ඉංජිනේරුවන් රොකට්ටුව පරීක්ෂා කිරන අතර ඔවුන් පවසන්නේ එහි අලුත්වැඩියා කටයුතු කිරීම රොකට්ටුව දියත් කිරීමේ වේදිකාවේදී සිදු කරනවාට වඩා එය නිමැයු වැඩමුළුවේදී සිදු කිරීමට සිදුව ඇති බවයි එහෙයින් සමස්ත ක්‍රියාවලියම සති කිහිපයක පසුබෑමකට තුඩු දෙනු ඇත.එයින් අදහස් වන්නේ ඔක්තෝබර් මැද භාගයට පෙර තුන්වන දියත් කිරීමේ උත්සාහයක් අපට දැකිය නොහැකි බවයි.
SLS යනු එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෙතෙක් නිපදවා ඇති බලවත්ම රොකට්ටුව වන අතර, මෙය වසර 50 කට පසු ගගනගාමීන් සහ ඔවුන්ගේ උපකරණ නැවත සඳ වෙත යැවීමට සැලසුම් කර ඇති යානයකි.
යානයේ යටි පැත්තේ ඇති විශාල එන්ජින් හතරක සුපිරි සීතල ද්‍රව හයිඩ්රජන් සහ ඔක්සිජන් ලීටර් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් දහනය කිරීමෙන් අතිවිශාල තෙරපුමකින් වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට මෙම යානය නිර්මාණය කර ඇත.
නමුත් සෙනසුරාදා උදෑසන පාලකයින් විසින් රොකට්ටුවේ හයිඩ්රජන් ටැංකිය පිරවීම සඳහා විධානය යවන විට, එහි කාන්දුවක් ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් විය.
යානයට හයිඩ්රජන් පොම්ප කරන ස්ථානයෙහි මෙම ගැටලුව නිරීක්ෂණය වී ඇත.
කාන්දුව මුද්‍රා කිරීම සඳහා කෙටි කාලයකට දෘඩාංග උණුසුම් වීමට ඉඩ දීමද ඇතුළුව, නිවැරදි කිරීම් ගණනාවක් පාලකයන් උත්සාහ කළ නමුත් ඒ කිසිවක් සාර්ථක වී නැත.
ඉංජිනේරුවන් පවසන්නේ SLS හි කාන්දුව මුද්‍රා කිරීම දියත් කිරීමේ පථය මත දී සවි කළ හැකි නමුත් රොකට්ටුව දියත්කිරිමේදී ඇතිවන නොමග යැවීමකදී රොකට්ටුව විනාශ කිරීමට භාවිතා කරන විනාශ කරීමේ පද්දතියේ (ටර්මිනේෂන් සිස්ටම් එකේ) බැටරි වල ක්‍රියාකාරිත්වය ඉදිරි සතියෙන් ඔබ්බටත් ක්‍රියාත්මක වීම නැවත සහතික කිරීම අවශ්‍ය වන අතර එය කළ හැක්කේ නිමැයුම් වැඩමුළුවේදී පමණක් බවයි.
යානය නැවත ඉංජිනේරු ගොඩනැගිල්ලට ගෙනයාම නිසා එහි තුන්වන උත්සාහය ඔක්තෝබර් මස මැද භාගයට පෙර සිදු නොවේ.
“අපගේ බැටරි පරීක්ෂා කිරීම සඳහා, බැටරි වෙනස් කරන්න, අපි යානය ආපසු ගෙනයන්න ඕන,” ගවේෂණ පද්ධති සංවර්ධනය සඳහා නාසා හි සහකාර පරිපාලක ජිම් ෆ්‍රී පැවසීය.
පෙර අවස්ථාවේ දී එය අභ්‍යාවකාශගත කිරීමේ උත්සාහය වැළකුණේ එන්ජින් සතරෙන් එකක් එහි නියමිත ක්‍රියාකාරී උෂ්ණත්වයට සිසිල් නොවූ හෙයිනි.
එවර එහි දත්ත සමාලෝචනය කළ ඉංජිනේරුවන්, මෙම ගැටලුව ඇතිවූයේ මන්දැ යි ඔවුන් වටහාගෙන ඇතිබව විශ්වාස කරයි.
එය සංවේදකයක් (සෙන්සරයක්) විසින් දක්වනු ලැබූ සාවද්‍ය කියැවීමක් හා බැඳී තිබෙනවා විය හැකිබව සිතන ඔවුන්, යානය අභ්‍යාවකාශගත කරන දිනයේ දී එම ගැටලුව සමඟ කටයුතු කිරීම සඳහා උපායමාර්ගයක් නිර්මාණය කළ හැකිබව ප්‍රකාශ කරයි.
යානය අභ්‍යාවකාශගත කිරීම සඳහා අවරෝහණ ගණනය කිරීමේ (countdown) මුල් අදියරේ දී එන්ජින් සිසිල් කිරීමේ ක්‍රියාවලිය ඇරඹීම මෙයට ඇතුළත් වේ.
“ඊළඟ අභ්‍යාවකාශගත කිරීමට සහාය දක්වන්න, අපට යන්න අවශ්‍ය තැන දක්වා ඉදිරියට යාගැනීමට මඟක් අපට තියෙනවා,” SLS ව්‍යාපෘතිය කළමනාකරණය කරනා ජෝන් හනීකට් ප්‍රකාශ කළේ ය.
මෙවර එය කාර්යය මණ්ඩලයකින් තොරව අභ්යවකාශගතවුවත්, සියල්ල සැලසුම් කළ ආකාරයටම නිවැරදිව සිදුවුවහොත්, පසුකාලීන මෙහෙයුම් සඳහා මෙම යානය ගගනගාමීන් ප්‍රවාහනය කරනු ඇත.
SLS, පසුගිය සෙනසුරාදා දිනයේ දී එරට වේලාවෙන් පැය 14:17ට (ලංකා වේලාවෙන් පස්වරු 11:47) එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අභ්‍යවකාශගත වීමට නියමිතව තිබුණි.
නවීන යුගයට ගැළපෙන තාක්ෂණයත් සමග නව ‘ආටිමිස් වැඩසටහන’ ක්‍රියාත්මක කරමින්, අභ්‍යාවකාශ යුගය යළි ගෙනඒමට නාසා ආයතනය බලාපොරොත්තුවෙන් සිටියි.
ආටිමිස්, ග්‍රීක හිරුදෙවි වන ඇපලෝගේ නිවුන් සොහොයුරිය සහ සඳ දේවතාවිය යි.
නැවත සඳ වෙත යාමේ මෙම මෙහෙයුම, 2030ගණන්වල හෝ පසු ගගනගාමීන් සහිත යානයක් අඟහරු වෙත යැවීමේ මෙහෙයුමේ පෙර සූදානමක් ලෙස නාසා ආයතනය දකියි.
“ඔයාලා දන්නවනේ, මේ වෙද්දී ලෝක ජනගහණයෙන් බාගෙකටත් වැඩි පිරිසක් වෙනත් ග්‍රහලෝකයක් මත මනුස්සයෙක් ඇවිදින හැටි දැකලා නැහැ. ඉතින්, මේක කීප ආකාරයකින්ම එයාලා මුලින්ම දකින හඳ මත ඇවිදීම බවට පත්වෙනවා,” නාසාහි පුවත් ආවරණය කරන නාසා වොච් වෙබ් අඩවියේ කතෘ කීත් කෝවිං පැවසීය.
“අපි දේවල් කරන්නේ වෙනස් විදියට, හැමදේම ක්ෂණික යි, හැමදේම HDවලින් පේන්නේ… මේක උද්යෝගීමත් වගේම මහා සද්දයක් එන වැඩක්. නමුත් දවස අවසානේ දී, ටිකෙන් ටික අපි කරන්නේ ආයෙමත් වතාවක් තවත් ග්‍රහලෝකයක් මත ඇවිදින්න මිනිස්සුන්ව යවන්න සැරසෙන එක. මම ප්‍රාර්ථනා කරනවා මේ වතාවේ මේක රටවල් දෙකක් අතර තරගයක් විදියට නෙවෙයි, ගෝලීය ප්රයත්නයක් විදියට සිදුවෙයි කියලා,” ඔහු BBC පුවත් සේවයට පැවසුවේ ය.
SLS සහ ඔරායන් දශකයකට වැඩි කාලයක් තිස්සේ සංවර්ධනය කෙරෙමින් පවතින අතර, එය මේ දක්වා පැමිණි ගමන සඳහා වැයකර ඇති මුදල ඩොලර් බිලියන 20 ඉක්මවා තිබේ.
ඇත්ත වශයෙන්ම, ඔරායන් මින් පෙර අවස්ථාවක පියාසර කර තිබේ. ඒ, 2014 වසරේ පෘථිවියට ආසන්න පරීක්ෂණ චාරිකාවක දී ය. ඒ අවස්ථාවේ දී එය අභ්යවකාශගතවීමට භාවිතා කළේ එකල තිබූ වාණිජ රොකට්ටුවකි. එබැවින් මෙම පියාසැරිය ආරම්භයේ සිට අවසානය දක්වා ආටිමිස් ගවේශන දෘඪාංග පද්ධති සම්පූර්ණයෙන්ම පරීක්ෂා කෙරෙන පරීක්ෂණ චාරිකාව බවට ද පත්වේ.
ඔරායන්, සඳට සහ ඉන් ඔබ්බට වන මෙහෙයුමක් සඳහා යැවෙන්නේ දින 42ක කාලයකට ය.
එය යළිත් පෘථිවියට පැමිණ, කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ ආසන්නයේ පැසිෆික් සාගරයට ගොඩබානු ඇතැ යි අපේක්ෂා කෙරේ.
ආටිමිස් I, 1960 ගණන් හා ’70 ගණන්වල දී මිනිසා සඳ මතට යැවූ සැටර්න් V රොකට්ටුවට පර්යාය නවීන නිර්මාණය යි. නමුත් එය දියත් කිරීමේ වේදිකාව මත සාපේක්ෂව වැඩි බලයක් යොදවයි.
මෙගානිව්ටොන් 39.1ක් හෙවත් ටොන්ක 3987ක බලයක් මුදාහරිමින් දියත් කෙරෙන මෙම රොකට්ටුව, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවනට මුදාහැරුණු බලවත්ම රොකට්ටුව බවට පත්වනු ඇත. එය ඇපලෝහි සැටර්න් V රොකට්ටුවලට වඩා ආසන්න වශයෙන් 15%කට වැඩි ප්‍රබලත්වයක් වන අතර, පැරණි අභ්‍යවකාශ ෂටල පද්ධතියට වඩා 20%කට වැඩි ප්‍රබලත්වයකි.
වෙනත් අයුරකින් කිවහොත්, ගුවන්ගතවීමේ දී, කොන්කෝඩ් සුපර්සොනික් ජෙට්යානා 60කට සමාන බලයක් මුදාහැරීමේ හැකියාව SLSහි එන්ජින්වලට තිබේ.
ඇපලෝ 17 යානයෙන් මිනිසා අවසන් වරට සඳ මත පා තබා පනස් වසරක් ගතවීමේ සංවත්සරය මේ දෙසැම්බර් මාසයට යෙදී ඇති අතර, එබැවින් මෙම රොකට්ටුව දියත් කිරීම නාසා ආයතනයට සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවේ දී ‘ඇපොලෝ රීමාස්ටර්ඩ්’ පිළිබඳව ද තොරතුරු ස්වල්පයක් ඔබ හා බෙදාගැනීම යුතුයැ යි අපි සිතමු.
‘ඇපලෝ රීමාස්ටර්ඩ්’: අපට සඳ පෙන්වීමට තනි මිනිසෙකු සිදුකළ මෙහෙයුමක්
“මට හැමතිස්සෙම ඕනෙ වෙලා තිබ්බේ ඒ අය දැකපු දේවල්ම දකින්න. ඒ අභ්‍යවකාශ යානයට ගොඩවෙන්න, එයාලා බලපු ජනෙල් කවුළුවෙන්ම එබිලා බලන්න, එයාලා හඳ මත ඇවිදිද්දී දැකපුවාම දකින්න.”
ඇන්ඩි සෝන්ඩර්ස් උමතුවෙන් මෙන් උනන්දුව දක්වන යමක් තිබේ. ඒ, මානව වර්ගයාගේ ඉතිහාසයේ ඉතාම වැදගත් සිදුවීමක් වන ‘ඇපලෝ ව්‍යාපෘතිය’ යි.
නමුත් ඔහු වෙත ඉතා දැඩි කලකිරීමක් ද තිබේ. 1960 ගණන්වල අගභාගයේ හා 1970 ගණන්වල මුල්භාගයේ දී ගන්නා ලද, එම විශිෂ්ට අභ්‍යවකාශ මෙහෙයුම වාර්තා කරන පින්තූරවල ස්වභාවය එම කලකිරීමට හේතුව යි. ඒ පින්තූර බොහෝවිට අප වෙත ඉදිරිපත් කෙරෙන්නේ දැඩි ලෙස සම්පීඩනය කරන ලද, දත්ත ප්‍රමාණය අඩුවූ, ත්‍රිමානබව සහ තියුණුබව ගිලිහුණු ඡායාරූප ලෙස ය.
එංගලන්තයේ චෙෂයර්හි දේපොළ සංවර්ධකයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු, වසර කිහිපයකට පෙර සිය වෘත්තියට සමුදී සිය මුළු කාලය නාසාහි ලේඛනාගාරයේ ඇති ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කැප කරන්නේ එබැවිනි.
එහි ප්‍රතිඵලය වූයේ ‘ඇපලෝ රීමාස්ටර්ඩ්’ (Apollo Remastered/ඇපලෝ ප්රතිසකස්කෙරුම) නම් කෘතිය යි. මනුෂ්‍ය වර්ගයා වෙනත් ග්රහයෙකු වෙත ගිය පළමු ගමන විස්තර කෙරෙන පින්තූර 400ක් මේ අගනා කෘතියට ඇතුළත් ය.
ඇපලෝ 8 ගගනගාමීන් සිය විඩියෝ සඳහා භාවිතා කළ ක්ලැපර්බෝඩය. ඡායාරූපවල පෙර සහ පසු වෙනස බැලීමට බොත්තම වමට අදින්න.
මේවායින් ඇතැම් දර්ශන ඔබ හඳුනාගනු ඇත: ඒවා මේ මෙහෙයුමේ වැදගත් සහ අති ප්‍රකට ඡායාරූප අතර වේ. නමුත් අනෙකුත් ඡායාරූප ඔබ මින්පෙර නොදුටු ඒවා වන්නට හැකි ය: ඒවා ඔබ දැක තිබුණ ද, ඒ, ඇන්ඩි විසින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඡායාරූපවල ඇති දත්ත තීව්රතාවයෙන් නම් නොවන බවට නිසැක ය. අත දිගුකර, ඡායාරූපයේ ඇති දේ ස්පර්ශ කිරීමට හැකියැ යි හැඟෙන අන්දමේ සුපැහැදිලිබවක් සහ ගැඹුරක් ඇන්ඩිගේ ඡායාරූපවල දක්නට ලැබේ.
මෙම සාර්ථකත්වයෙන් අඩකටම හේතුවන්නේ මුල් සේයා පටල (මේවා සංරක්ෂණය කිරීම සඳහා නාසා ආයතනය විසින් ඒවා අධිශීතකරණයට ලක්කර තිබේ) ඉතා ඉහළ තීව්‍රතාවෙන් යුතුව ස්කෑන් කිරීම වුවත්, නවීන ඩිජිටල් සංස්කරණ සහ ප්‍රතිසංස්කරණ ක්‍රම පිළිබඳව ඔහුගේ නිපුණත්වය සහ ප්‍රවීණත්වය මෙම ක්‍රියාවලිය පිටුපස ඇති විශාලතම ශක්තිය වී තිබේ. මින් ක්රමයන් එකක් හෝ දෙකක් ඔහු විසින්ම ගොඩනැංවුණු ඒවා ද වේ.
“ඉතිහාසයේ මේ වැදගත් අවස්ථා අපට ඉතා හොඳ කොලිටියෙන් යුතුව දකින්න බැරිවෙන්න හේතුවක් නැහැ. මොකද, ඒ අය පාවිච්චි කළේ හොඳම කැමරා, හොඳම ලෙන්ස්, ඒ කාලේ හදලා තිබුණු හොඳම ෆිල්ම් රෝල්ස්. ඒවායිනුත් හොඳම ෆිල්ම් රෝල් ප්‍රොසෙස් කළේ ඒ කාලේ තිබ්බ දියුණුම ෆොටෝ ලැබ් එකේ. ඒ නිසා මට මේක තේරෙන්නේ නෑ,” ඇන්ඩි පවසයි.
නීල් ආම්ස්ට්‍රෝං සඳ මත සිටින අවස්ථාවේ ඔහුගේ මුහුණ හඳුනාගත හැකි එකම පැහැදිලි ඡායාරූපය ඇතුළත්වන්නේ ද ඔහු ප්‍රතිනිර්මාණය කරන ලද ඡායාරූප එකතුවේ ය (මෙම ඉහිහාසගත මිනිසා චන්ද්‍ර පෘෂ්ඨය මත සිටින තවත් ඡායාරූප නොමැත්තේ කෙසේ ද?)
පෘථිවියෙන් පිටත්වන ගමන අතරතුර දී මාරාන්තික පිපිරීමකට ලක්වීමට ගිය ඇපලෝ 13 යානාව තුළ ජීවත්වීම පිළිබඳව අත්දැකීම ලොවට පෙන්වන පළමු පැහැදිළි ඡායාරූපය ද ඇතුළත්වන්නේ මෙහි ය.
ඇපලෝ 14හි ඇලන් ෂෙපර්ඩ් “සැතපුම් ගණනක් දුරට” යන ලෙස පහර එල්ල කළ ගොල්ෆ් බෝලයේ විශාලනය ද මේ සේයාරූ මඟින් අපට දක්නට හැකි ය. එය ගොස් තිබුණේ මීටර් 40ක දුරක් පමණි.
ඇපලෝ 9හි ජිම් මැක්ඩිවිට් අභ්‍යවකාශය දෙස බලයි. වෙනස බැලීමට බොත්තම වමට අදින්න.
ඇන්ඩි විසින් සිදුකර ඇති වඩාත්ම ආකර්ෂණීය කාර්යය වන්නේ, ගගනගාමීන් සඳ වෙත යන සහ එහි සිට පැමිණෙන ගමන අතරතුරේ ඔවුන්ගේ කැප්සියුල තුළ දී ලබාගන්නා ලද 16mm පටවල සටහන් වූ වීඩියෝ ප්‍රතිසංස්කරණය කිරීම යි. පැය 10ක කාලයක් තරම් දිගට පටිගතව ඇති මෙම දර්ශන ඇපලෝ ලේඛනාගාරයේ තිබේ. ඇන්ඩි ඔහුගේ සංස්කරණ මෘදුකාංගයේ භාවිතා කරන්නේ “ස්ටැකිං” තාක්ෂණයකි. එය එකම ඡායාරූපයේ රාමු විශාල ප්‍රමාණයක් එක මත එක ස්ථාපනය කරමින්, හොඳ තත්ත්වයේ නිශ්චල කැමරාවකින් ලබාගත්තක් මෙන් පෙන්වන ඉතා සවිස්තරාත්මක රූපයක් සංස්ලේෂණය කර ලබා දේ.
ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස්, අභ්‍යාවකාශ ගමන අතරතුරේ දී පටිගත කළ සිය “හෝම් මූවීස්” පට සඳහා භාවිතා කළ “ක්යු කාඩ්” එක හෙවත් “ක්ලැපර්බෝඩ්” එකෙහි දර්ශනය මෙයට හොඳ උදාහරණයකි. මෙය තනි තනි රාමු වශයෙන් ගෙන බලන විට බොඳ වී, ලක්ෂ ගණනක් කුඩා තිත් තිත් සහිතව දක්නට ලැබෙනමුත්, එම රාමු ඇන්ඩි විසින් සංස්කරණය වීමෙන් පසු, පෙර දී දක්නට නොලැබුණු ඉතා කුඩා දත්තයන් පවා අපට පැහැදිලිව දක්නට හැකි ය. ඇන්ඩර්ස්ගේ අත් ඔරලෝසුවේ කටුවල පිහිටීම ඉන් එකකි.
ඇන්ඩිගේ ප්‍රියතම ප්රතිනිර්මාණිත ඡායාරූපය, ඔහු සිය ග්‍රන්ථයේ මුල් කවරය අලංකාර කෙරුමට යොදාගත් ඡායාරූපයයැ යි අනුමානය කළ හැකි ය. ඔහු ඇපලෝ ලේඛනාගාරයේ දී පරීක්ෂා කළ පින්තූර 35 000ක් අතරින් අවාසනාවන්තම තත්ත්වයක් තිබූ ඡායාරූපයකි ඒ. එය ඉතා අවමව නිරාවරණය වූ සේයා පටලයක් විය.
එහි පෙනෙන්නට තිබූ එකම දර්ශනය වූයේ, ඡායාරූපයේ ඉහළ කොටසට වන්නට වූ දුබල ආලෝක ධාරාවකි. එය කවුළුවක ආලෝක පරාවර්තනයක් විය හැකි බව පෙනෙන්නට තිබුණි. නමුත් ඇන්ඩිගේ නවීන ඩිජිටල් මෘදුකාංගයේ විස්මිත දස්කම හරහා මානව ඉතිහාසයේ අද්විතීය ජයග්‍රාහී මොහොතක් එම ඡායාරූපයෙන් මතුවිය: ඇපලෝ 9හි අණදෙන නිලධාරි ජිම් මැක්ඩිවිට් බුබුළු හෙල්මටයක් පැළඳ, පෘථිවියට ඉතා ඉහළ අභ්‍යවකාශයේ දී යානා දෙකක් අයන්ත්රිකවම එකිනෙකට සම්බන්ධ කිරීමට සූදානමින් සිටින අවස්ථාව යි.
“ඒක1969 දී ගත්ත, ඇපලෝ ගගනගාමියෙක්ගේ හරිම විශ්මයජනක පින්තූරයක්. ඔහු විස්මයකින් වගේ ජනේලයක් තුළින් ඉහළට බලා ඉන්න විදිය අපට පේනවා,” ඇන්ඩි පැහැදිලි කරයි.
“නමුත් ඇත්තෙන්ම ඒක ඊට වඩා හුඟක් විශේෂ යි. මොකද මැක්ඩිවිට් ඇත්ත වශයෙන්ම ඩොකින් එකක් කරන ගමන් ඉන්නේ (එනම්, අභ්‍යවකාශ යානා දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය). ඒක ඉතාමත්ම අනතුරුදායක වැඩක්. ගගනගාමීන්ව ආපහු පෘථිවියට ගේන්න බැරි යානාවක් එක්ක වැඩ කරන්න අපට සිද්ධ වෙච්ච පළමු අවස්ථාව ඒක, මොකද ඒගොල්ලෝ චන්ද්‍ර මොඩියුලය ටෙස්ට් කරමින් හිටියේ. ඒකට තාප ආවරණයක් තිබුණේ නැහැ. ඒ නිසා, ඒගොල්ලෝ මේ ඩොකින් එක කළේ නැත්නම් ඒගොල්ලන්ට ආපිට පොළොවට එන්න බැරිවෙන්න තිබුණා. ඒක මානව ඉතිහාසයේ ඇදහිය නොහැකි තරම් වටිනා, අතිපීඩනකාරී, අද්විතීය මොහොතක්.”
මෙම සංකීර්ණ සංස්කරණ ක්‍රියාවලිය සඳහා ආලෝකය සහ වර්ණ පිළිබඳ ශිෂ්යයෙකුබවට පත්වීමට ඇන්ඩිට සිදුවිය. ගගනගාමීන් හා කතාබහකොට, ඔවුන්ගේ අත්දැකීම් එලෙසින්ම දැනගැනීම ද මෙයට ඇතුළත් විය. මෙම ඡායාරූප ගත් අවස්ථාවේ නිරීක්ෂණ විස්තර ලබා ගැනීම සඳහා ඔහු පැය ගණනක් දිගු මෙහෙයුම් හඬපටි අසමින් ගතකළේ ය. මේ ඔස්සේ විවිධ උපක්‍රම සහ සූක්ෂ්ම දේ වටහා ගැනීමට ඔහුට හැකිවිය.
“සේයා පටලයක වර්ණයට බලපෑම් කරන ගොඩක් දේවල් තියෙනවා,” ඔහු පවසයි.
“ඇතැම් පින්තූර ගොනු අනෙක් ඒවාට වඩා පරණ වෙලා ගිහින්. ඇතැම් ඒවා ප්‍රොසෙස් කරලා තියෙන්නේ තරමක් වෙනස් විදියට. සමහරක් ඒවා ස්කෑන් කරලා තියෙන්නේ තරමක් වෙනස් විදියට. ඒ වගේම, ගගනගාමියා පින්තූරය ගත්තේ කමාන්ඩ් මොඩියුල් එකේ කවුළුව හරහා නම්, ඒක ලූනා මොඩියුල් එකේ කවුළුව හරහා ගත්ත පින්තූරෙක වර්ණවලට වඩා මඳ වශයෙන් වෙනස් වර්ණ දරනවා.”
නුදුරු දිනවල දී, ඇපලෝ මෙහෙයුම් වෙනුවෙන් මතුවූ උද්යෝගය නැවත මතුකරගැනීමට නාසා උත්සාහ දරනු ඇත.
සඳ වටා කැප්සියුලයක් යවන දැවැන්ත නව රොකට්ටුවක් සමගින් නාසා සිය ආටිමිස් වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව මෙම ලිපිය මුල දී අපි ඔබට පැවසුවෙමු.
ආටිමිස්, අභ්‍යාවකාශයේ අති අතිවිශිෂ්ට දර්ශන රැසක් දැකගැනීමේ අවස්ථාව අප වෙත සලසනු ඇතිබව නිසැක ය. අපට ඡායාරූප ගැනීමට වඩාත් උචිත සියලු තැන්හි දී ගත් පින්තූර, අංශක 360ක වපරිසයක් ආවරණය කෙරෙන දර්ශන, 4K තත්ත්වයේ පැහැදිලිබව මෙන්ම සජීවී විකාශයන් ද බලාපොරොත්තු විය හැකි ය.
තමන් එහි උද්යෝගීමත් ප්‍රේක්ෂකයෙකු වනු ඇතැ යි ඇන්ඩි පවසයි. නමුත්, පැරණි පටල තාක්ෂණයේ වූ රොමාන්තිකබව හා සම මට්ටමට පැමිණීමට නව තාක්ෂණයට නොහැකිවනු ඇතැ යි ඔහු සැක පළකරයි.
“දන්නවද, අපි කාන්තාවක් පළමු වතාවට හඳ මත ඇවිදිනවා දකින්න යි යන්නේ. ඒක අතිවිශිෂ්ට මොහොතක් වේවි. ඒකෙ පින්තූරයක් ගන්න කාටහරි මතක තියේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
Apollo Remastered ග්‍රන්ථය සැප්තැම්බර් 1 වන දා Penguin/Particular Books විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය. මෙහි ඡායාරූප එකතුව ප්‍රදර්ශන මාලාවක් සඳහා සංචාරයක ගෙනයෑමට නියමිත අතර සැප්තැම්බර් අවසානයේ ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවේ දී ප්‍රදර්ශනයට තැබීමෙන් මෙය ආරම්භ වනු ඇත. අනතුරුව එළඹෙන නොවැම්බරයේ දී මේවා ග්ලාස්ගෝ විද්‍යා මධ්‍යස්ථානය වෙත භාරදෙනු ඇත. ඇන්ඩි ඔහුගේ Twitter සහ Instagram ගිණුම් හරහා මෙම ඡායාරූප පිළිබඳව සාකච්ඡා කරයි.