22න් අපේක්ෂිත ප්‍රතිඵල නෑ / මාර්තු 12 ව්‍යාපාරය

21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ රටවැසියන් බහුතරයක් ඉමහත් අපේක්‍ෂාවෙන් සිටි පරිදි මෙරටේ පාලන ව්‍යුහයේ අනගි වෙනසක් සිදුකිරීම සඳහා විවර වූ එක් ස්වර්ණමය දොරටුවක් වූයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එනමුත් ඉන් නිසි ඵල නෙලා ගැනීමට තරම්  අදාළ පාර්ශව ප්‍රගතිශීලි වී නැති බව මාර්තු 12 ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. කෙසේවුවත් යටත් පිරිසෙන් වත්මන් ස්වරූපයෙන් හෝ මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනගත කිරීම පුරවැසි අයිතීන් කෙරෙහි සාධනීය බලපෑමක් කරන්නක් වනු ඇත.

විසිඑක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව ස්ථාපිත කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශව අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙළ කෙරෙහි මාර්තු 12 ව්‍යාපාරය ඉමහත් අවධානයෙන් පසුවන බව සිහිකිරීම ද මෙම නිවේදනයේ එක් අරමුණකි.

ව්‍යවස්ථා සභාව වෙත පාර්ලිමේන්තුව  හා ඉන් පරිබාහිරව සිවිල් සමාජය  නියෝජනය කිරීම සඳහා  සාමාජිකයන් තෝරාගැනීම මනා විචක්‍ෂණශීලිත්වයෙන් හා පුළුල් දැක්මක් ඔස්සේ සිදුකල යුතු කාර්යයකි. ව්‍යවස්ථා සභාවේ සමස්ත ව්‍යූහය තුළින් රටෙහි ජන විවිධත්වය හා වෙනස් අනන්‍යතා පිළිබඳ හරස්කඩක් පිළිඹිඹු විය යුත්තේය. ඒ හා සමඟ තම සමාජ ක්‍රියාකාරිත්වය, හැකියාව හා හැදියාව ඔස්සේ ජන සම්භාවනාවට ලක්වූ පුද්ගලයන් එහි නියෝජනය දැරිය යුත්තේය. 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ ජීවය ආරක්ෂා වනු ඇත්තේ එවැනි ප්‍රවේශයක් ඔස්සේ පමණක් බව මාර්තු 12 ව්‍යාපාරය දැඩිව අවධාරණය කර සිටී.

ව්‍යවස්ථා සභාවට අමතරව එකී සභාව මඟින් පත්කිරීමට නියමිත කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමේදී ද නිශ්චිත ක්‍රියාපරිපාටියක්  අනුගමනය කල යුතු බව මාර්තු 12 ව්‍යාපාරයේ අදහසයි. පහත දැක්වෙන්නේ ඒ සඳහා වන සරල ප්‍රවේශයකි.

01. කොමිෂන් සභා සාමාජිකයන් තෝරා ගැනීම සඳහා  නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීම නිසැකව ම සිදුකල යුත්තකි. එය විනිවිදබවින් යුත් ප්‍රායෝගික ක්‍රියාවලියක් සඳහා ආදේශ කිරීම යහපත්ය.

02.  කොමිෂන් සභා නියෝජනය සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී එකී සාමාජිකයන්ගේ අදීන පෞරෂය මෙන්ම සුපිළිපන්න පැවැත්ම පරික්ෂා කල යුත්තේය.

03. අදාළ කොමිෂන් සභා නිලවරම නිශ්චිතව විග්‍රහ කොට ඊට අදාළ පටිපාටීන් ද හඳුන්වා දීම ඉතා සුදුසුය

04. කොමිෂන් සභා යනු හුදු දෛනික පරිපාලනය කළමනාකරණය සඳහා නිර්මිත ආයතනික ව්‍යුහයක් නොවිය යුත්තේය.  එය ප්‍රතිපත්ති සම්පාදනය තුළින්  අනාගතවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ විභවතාව සහිත කඩිනම් තීරණ ගන්නා යාන්ත්‍රණයක් විය යුතුය.

එපමණක් නොව කොමිෂන් සභා සඳහා සාමාජිකයන් නම් කිරීමේදී දැනටමත් යහපත් ක්‍රියාකාරිත්වයක් දක්වා ඇති සභාපතිවරුන් ප්‍රමුඛ සාමාජිකයන්ගේ සේවය නැවත ලබා නොගැනීමට මෙම නව සංශෝධනය ඉවහල් කර නොගත යුතු බවද අවධාරණය කරන්නෙමු.

කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ මුඛ්‍යාර්ථය වූයේ විශේෂිත කරුණු දෙකකි. එනම් රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීම හා සමස්ත පාලන ව්‍යුහයේ පවත්නා ළබැඳියාවන් අතර ගැටුම අවසන් කිරීමයි. එහෙත් මාර්තු 12 ව්‍යාපාරයේ නිරීක්ෂණය වන්නේ මෙරටේ ස්ථාපිත කොමිෂන් සභා ව්‍යුහය එම අරමුණු ඉටුකරගැනීම  සඳහා ඉවහල් වී ඇත්තේ ඉතා අවම වශයෙන් බවයි. කොමිෂන් සභා ක්‍රියාකාරිත්වයේදී අවශ්‍යයෙන්ම පැවතිය යුතු  ස්වායක්ත හා ස්වාධීන පැවැත්ම වෙනුවට එය තවදුරටත් දෙපාර්තමේන්තුගත රාජ්‍ය සේවා සංකල්ප ඔස්සේම ක්‍රියාවට නැඟීමේ යල්පැනගිය භාවිතාව මාර්තු 12 ව්‍යාපාරයේ වෙසෙස් අවධානයට ලක්ව ඇත. එබැවින් අනාගත කොමිෂන් සභා පත්කිරීම් යනු රටෙහි අනාගත පැවැත්ම බව සලකා පාලකයන් ක්‍රියා කිරීම මැනවි.

රෝහණ හෙට්ටිආරච්චි
කැඳවුම්කරු
මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව වෙනුවෙන්

පුවත යවන්න