අදානි: පාසල හැරගොස් ආසියාවේ මහ ධනවතා වීම දක්වා ආ අනතුරුදායක ගමන

2008 නොවැම්බර් 26 වැනි දා රාත්‍රියේ, එවකට ඉන්දියාවේ 10 වැනි ධනවතා වූ ගෞතම් අදානි මුම්බායිහි සුඛෝපභෝගී ටාජ් මහල් හෝටලයේ අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් සිටියේ ය. එක් වරම එයට ඇතුළුවූ තුවක්කුකරුවෝ පිරිසක් සතර අත වෙඩි තබමින්, අත්බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්හ.

ආයුධ සන්නද්ධ පකිස්ථාන සටන්කාමීහු දසදෙනෙක් එදින සවස මුහුදු මාර්ගයෙන් පැමිණ, කණ්ඩායම්වලට බෙදී, වාහන පැහැරගෙන, ඉහළ පෙළේ හෝටල් දෙකක් ඇතුළු තවත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළහ. නගරය පැය 60ක් වටලා තිබූ අතර, 166ක් මියයාමත් සමග ඉන්දියා පාකිස්ථාන සබඳතා පළුදුවිය.

අදානි පසුව India Today සඟරාවට පැවසුවේ, හෝටල් කාර්යය මණ්ඩලය ආහාර ගනිමින් සිටියවුන් ඉක්මනින් පහළම මාලයට ගෙනගියබවත්, පසුව, පිටත ගැටුම් තිබියදීම ඉහළ මහළකට ගෙනගිය බවත් ය.

ජීවිතය යදිමින් සිටි අමුත්තන් 100ක් ශාලාව තුළ සිටියේ ය. “සමහරු සෝෆා යට හැංගිලා සිටියා, තවත් අය විවිධ ඉරියව්වලින් සැඟවුණා.” තමා සෝෆාවක් මත හිඳගත් බවත්, සිරවී සිටි අමුත්තන්ට “දෙවියන් කෙරෙහි විශ්වාසය” ඇතිකර ගන්නැ යි පැවසූ බවත්, කිලෝමීටර් 500ක් දුරින් පිහිටි සිය උපන් නගරය වන අහමදාබාද්හි විසූ කලබලයට පත් පවුලට දුරකථන ඇමතුම් ලබාදුන් බවත්, මේ අවස්ථාවේ දී තම රියදුරු සහ ආරක්ෂක නිලධාරියා පිටත නවතා තිබූ මෝටර් රථයේ නොඉවසිල්ලෙන් බලා සිටි බවත් ඔහු පැවසීය.

ඔවුන් ශාලාවේ රාත්‍රිය ගත කිරීමෙන් පසු, පසුදා උදෑසන හෝටලය වටකළ කොමාන්ඩෝ භටයින් අදානි සහ සෙසු ප්‍රාණ ඇපකරුවන් පිටුපස දොරටුවෙන් පිටතට ගෙන ගියේ ය. “මම අඩි 15ක දුරින් ඉඳන් [මීටර් 5ක් පමණ] මරණය දැක්කා,” පසුදින සිය පුද්ගලික ජෙට් යානයෙන් අහමදාබාද් වෙත පැමිණීමෙන් පසු ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

: Gujarat Chief Minister Narendra Modi and Chairman Of Adani Group Gautam Adani at 5th Vibrant Gujarat Global Summit on January 13, 2011 in Gandhinagar, India.
අදානි අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු ලෙස සැලකේ

වසර 14කට පමණ පසු, 60 හැවිරිදි අදානි ලොව තෙවන ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටියි. ඔහු දෙවැනි වූයේ ඊලොන් මස්ක් සහ ජෙෆ් බේසෝස්ට ය. ඔහු ලැයිස්තුගත වෙළඳාම් සමාගම් හතක්, සේවකයින් 23 000ක් සහ ඩොලර් බිලියන 230කට වැඩි වෙළඳපළ ප්‍රාග්ධනයක් සහිත, වරායේ සිට බලශක්ති ක්ෂේත්‍රය දක්වා දිවෙන ආයතන සමූහයක් පවත්වාගෙන යයි.

ඔහු ගැන මේ සතියේ කතාබහට ලක්වූයේ ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ ප්‍රවෘත්ති ජාලයක් වන NDTV අත්පත්කර ගැනීමට ආසන්නව සිටින බැවිනි. එය ඔහුගේ පළමු විශාල මාධ්‍ය ව්‍යාපාරය වනු ඇත.

පාසල අතරමඟින් හැරගොස් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස බිලියනපතියෙකුවීමට මත්තෙන්, අදානි වරක් නූලෙන් දිවි ගලවාගෙන තිබුණි. 1998 දී මෝටර් රථයක ගමන්කළ ඔහු සහ ඔහුගේ සගයෙක් අහමද්බාද්හි පිරිසක් විසින් කප්පම් ගැනීම සඳහා තුවක්කු පෙන්වා බියකොට පැහැර ගැනුනි.

මේ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සගයා “උසාවියෙන් නැවත නැවතත් සිතාසි නිකුත්කර තිබියදීත් කිසි දිනෙක නොපැමිණීම” හේතුවෙන්, මෙම සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු 2018 දී ඇප මත නිදහස් කෙරිණි. තමා සැඟවුණු චරිතයක් ලෙස නිතර හඳුන්වාගන්නා අදානි, වරක් “මගේ ජීවිතේ ඉතා අවාසනාවන්ත සිදුවීම් දෙක තුනක් සිදුවෙලා තියෙනවා”යි මාධ්‍යවේදියෙකුට පැවසීම හැරුණුකොට, මෙම සිදුවීම් ගැන වැඩිදුර කතාබහ නොකරයි.

වයස අවුරුදු 16 දී පාසල හැරගිය අදානි මුම්බායි වෙත ගියේ, කාර්යය බහුල වෙළඳ දිස්ත්‍රික්කයේ දියමන්ති වෙළඳාම් කරමින් වාසනාව උරගා බැලීමට ය. ඔහුගේ මුල්කාලීන උත්සාහය වැඩිකල් පැවතුණේ නැත. වසර දෙකකට පසු තම උපන් ප්‍රාන්තය වන ගුජරාටයට නැවත පැමිණි ඔහු සහෝදරයෙකු පවත්වාගෙන ගිය ඇසුරුම් කම්හලකට එක්විය.

Workers use heavy machinery to sift through coal at the Adani Power company thermal power plant at Mundra some 400 kms from Ahmedabad on February 18, 2011.
ගුජරාටයේ පිහිටි ඉන්දියාවේ පෞද්ගලික ගල් අඟුරු බලාගාරය අදානිට අයත් ය

ගල් අඟුරු බලාගාර සයක හිමිකම් දරන අදානි ඉන්දියාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පුද්ගලික අංශ දැවැන්තයා ය. ඒ අතරම, හරිත හයිඩ්‍රජන් සඳහා ඩොලර් බිලියන 50ක් ආයෝජනය කිරීමට ප්‍රතිඥා දී ඇති ඔහු කිලෝමීටර 8 000ක් දුරකට ස්වාභාවික ගෑස් නල මාර්ගයක් පවත්වාගෙන යයි. ඔහු ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු පතල් ද මිල දී ගෙන ඇත. 2030 වන විට ගෝලීය පුනර්ජනනීය බලශක්ති දැවැන්තයාවීමට ඔහු අපේක්ෂා කරයි.

අදානිගේ දියුණුවේ වේගය සහ පරිමාණය පෙර යුගවල කාර්මික දැවැන්තයන්ගේ වේගය හා සැසඳිය හැකිබව ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන ජේම්ස් ක්‍රෑබ්ට්‍රී තම The Billionaire Raj: Journey through India’s New Gilded Age කෘතියේ ලියා තිබේ.

“ඉන්දියාවේ බිඳවැටුණු යටිතල පහසුකම් මත විශ්වාසය තැබිය නොහැකි බැවින් ඔහු තමාගේම දුම්රිය මාර්ග සහ විදුලි රැහැන් ඉදිකළේ ය. ඉන්දීය ගල් අඟුරු සඳහා පහසු ප්‍රවේශයක් නොමැතිකම නිසා ඔහු ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පතල් මිලට ගෙන, ඒවායේ අන්තර්ගතයන් ඔහුගේම වරාය හරහා සියරටට ගෙන ආවේ ය,” සඳහන් කරන ක්‍රෑබ්ට්‍රී, ඔහුගේ “දියුණුව ඉන්දියාවේ දියුණුව විය,”යි ලියයි.

Adani protesters are seen in Brisbane Square on July 5, 2019 in Brisbane, Australia. The protesters are calling on the Queensland State Government to withdraw its approval of the Adani coal mine in central Queensland.
මධ්‍යම ක්වීන්ස්ලන්තයේ අදානිගේ ගල් අඟුරු ආකරය සම්බන්ධයෙන් 2019 වසරේ දී ඕස්ට්‍රේලියාවේ විරෝධතා ඇතිවිය

ඒ අතරම, අදානි බොහෝ මතභේදවලට මුහුණදී සිටියි. නරේන්ද්‍ර මෝදි සමග ඔහුගේ සමීප සබඳතාව ගජමිතුරු ධනවාදයේ උදාහරණයක් ලෙස හැඳින්වීමට විචාරකයන් පෙළඹී තිබේ. මෝදි ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස සිටි කාලයේ පටන්ම අදානි ඔහුට සමීපව සිටියි.

“ඒ දෙදෙනා සහජීවී වෘත්තීය දිවියක් භුක්ති වින්දාහ. මෝදි මහතාගේ ව්‍යාපාරවලට පක්ෂ ප්‍රතිපත්ති අදානි මහතාට ව්‍යාප්තවීමට උපකාරී විය. මේ අතර, යටිතල පහසුකම්, ආයෝජන, විදෙස් ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ අපනයන කර්මාන්තය වෙත වැඩි අවධානයක් දැක්වූ, මෝදි මහතාගේ ‘ගුජරාට් ආකෘතිය’ යටතේ ආ විශාල ව්‍යාපෘති බොහොමයක් ගොඩනඟා ඇත්තේ අදානිගේ සමාගම් ය,” ක්‍රෑබ්ට්‍රී ප්‍රකාශ කරයි.

ක්වීන්ස්ලන්ත ගැලීලි ද්‍රෝණියේ අදානි සතු ගල් අඟුරු ආකරයක්, ගල් අඟුරු හිතවාදී සහ විරෝධී කණ්ඩායම් සඳහා තෝතැන්නක් බවට පත්වූ අතර, 2019 දී ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර පාරිසරික අනුමැතිය ලබාගැනීම සඳහා වසර ගණනාවක් බලා සිටින්නට සිදුවිය. ඕස්ට්‍රේලියාවේ ලාභ නොලබන සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන AdaniWatch නම් වෙබ් අඩවියක් “ලොව පුරා අදානි සමූහ ව්‍යාපාරයේ අකටයුතුකම් පිළිබඳව හෙළි කිරීමට” උත්සාහ කරයි. අදානි සමූහය ඕස්ට්‍රේලියාවේ නීති කඩ කිරීම පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

2012 දී ඉන්දියාවේ රජයේ විගණකවරයා එවකට ගුජරාට්හි මහ ඇමතිවරයා වූ මෝදි, රාජ්‍ය ගෑස් සමාගමකින් අදානි සහ අනෙකුත් ව්‍යාපාරිකයින්ට අඩු මිලට ඉන්ධන ලබාදුන් බවට චෝදනා කළේ ය. 2017 දී මාධ්‍යවේදියෙක්, මෝදිගේ පාලන සමය තුළ අදානිගේ විශේෂ සමාගම්වලට සැලකිලි ලැබී ඇතැ යි ලිපි මාලාවක් ලිවී ය. අදානිගේ සමාගම් සහ මෝදිගේ රජය එවැනි චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

භාස්කර් මහතා පවසන්නේ අදානිගේ “සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට ඇති හැකියාව” ඔහුගේ ව්‍යාපාරවල වර්ධනයට උපකාර වූ බව යි. අදානි බොහෝ “දේශපාලන සහ සමාජ නායකයින්ගේ” මිත්‍රයෙකි. කේරළයේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය බලයේ සිටින විට අදානිගේ වරාය ව්‍යාපෘතියට අනුමැතිය දුන් අතර, දැන් ප්‍රාන්තය පාලනය කරන කොමියුනිස්ට්වාදීන් ද එයට සහාය දක්වා ඇත.

භාස්කර් පවසන්නේ අදානි කැපී පෙනෙන්නේ, ඔහු “ව්‍යාපාරයක් මුදල් ජනනය කරන තුරු ආයෝජකයන්ගෙන් අරමුදල් රැස් කිරීමට දක්වන අකමැත්ත” නිසා බව යි. ඔහුට අනුව වඩා වැදගත් දෙය නම්, ව්‍යාපාරයක අවශ්‍යතා “ජාතික අවශ්‍යතා සමග සමීපව පෙලගැසී ඇති” විට එහි දියුණුව සහතික වන බව අදානි විශ්වාස කිරීම යි. අදානි සමූහයේ වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි ඔවුන්ගේ දර්ශනය වන්නේ “යහපත්කම සමග වර්ධනය” සහ “ජාතිය ගොඩනැගීම” ය. –  BBC

පුවත යවන්න