නාමයෝජනා කැදවීම අවසන් වීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුකූලව ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකළ පෙත්සම් කැදවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කෙරුණා.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස් තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාග කැඳවා තිබුණා.
එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ආරම්භ කර ඇති බවත් එය ලබන 21 වනදා අවසන් වන බවත් කියා සිටියා.
නාමයෝජනා කැඳවීමෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම් පනත ප්‍රකාරව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් දන්වා සිටියේ මැතිවරණ කොමිසමේ එම ප්‍රතිඥාව සටහන් කර ගන්නා ලෙසයි.
අනතුරුව අදාළ පෙත්සම් පෙබරවාරි 14 වනදා යළි කැදවීමට දින නියම කෙරුණා.
රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී එල් පීරිස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
අනෙක් පෙත්සම ගොනුකර ඇත්තේ දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම් ඒ සුමන්තිරන් හා අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වයි.